Saturday, February 15, 2014

මාකේස්, ගමරාල සහ ඇම්ඩා

        ගේබ්‍රියල් ගාර්ෂියා මාකේස් One Hundred Years of Solitude සඳහා සිය රචනා ශෛලිය, එනම් ඉන්ද්‍රජාලික යථාර්තවාදය, නිර්මාණය කර ගන්නේ සිය මිත්තණියගේ කතන්දර කීමේ විලාසය ගුරු කොට ගෙන. කිසිදාක විශ්වාස කල නොහැකි අභව්‍ය කතා ඈ කියන්නේ යථාව සහ ප්‍රබන්ධය අතර වෙනසක් පිළීබඳ කිසිදු භාවමය ඉඟියක් ලබා නොදෙමින්, මාකේස්ගේම වචන වලින් කියනවානම් ඇය සිය ප්‍රබන්ධ සියල්ල කියා පෑවේ "දාරුමය මුහුණකින්", එය හැඟීම් විරහිත ඉදිරිපත් කිරීමක්.
ඇය යථාර්තයට එහා ගිය දේවල් "දාරුමය" මුහුණකින් කියාගෙන කියාගෙන යද්දී අපේ සීයලා ද "දාරුමය" මුහුණු වලින් යුතුව අපේ ජන කතා පරම්පරා ගණනක් තිස්සේ කියාගෙන ගියහ.
        අපි මනෝභවික තහංචි(Taboo) කොටුවකට සිරවී සිටිමු. අප සාමාන්‍යයෙන් ඉන් පිටතට පනින්නේ අපගේ ෆැන්ටසියේ දී. ජනකතා කියන්නේ සමාජයීය දෘශ්ඨිවාදයෙන් පාලනය වන ෆැන්ටසි කතන්දර. මේ යථාර්තයට එහා ගිය දේවල් අපේ සීයලා කියන්නෙත් අර "දාරුමය" මුහුණින් මයි. "...... ගමයා උදැහැනැක්කේ හේනට ගිය ඇහැක්කේ මායියා මොකද කලේ හොර මිනිහව ගෙට ගත්තා. ..." සීයා තම මුණුබුරාට මේ "කුණුහරප" කියා දෙන්නේ අර කිසිම හැඟීමක් විශේෂයක් නැති "දාරුමය" මුහුණින්...
දැන් අප සතුව අළුත් ජනකතා එකතුවක් ඇත, අපි ඒවාට Urban Folk Stories කියා කියමු. අපේ ඒ හැම ජනකතාවකම කතා නායකයා ගමරාළ, අපේ මේ Urban Folk Stories වල කතා නායකයා ඇම්ඩා... ඉතින් මට ඇතිවූ සාධාරණ ප්‍රශ්නය කවදාහරි දවසක අපේ සමවයස් සෙට් එක වයසට ගිහින් මුණුබුරෙකුට හරි මිණිබිරියකට හරි කතන්දරයක් කියල දෙනකොට මෙන්න මේ ආකාරයට වෙයි ද කියලා ... "..... ඔන්න එකෝමත් එක කාලෙක හිටියා ඇම්ඩා කියල කොල්ලෙක්. මූ දවසක් ඉස්කෝලෙ ගෙදර වැඩ නොකර ඉස්කෝලෙ ගියා. ටීචර් ආවා පන්තියට ......."
        ඒත් ටිකක් කල්පනා කරද්දි හිතුණා ඒක එහෙම නොවේ ය කියලා.. මොකද ජන කතා සහ ඇම්ඩාගේ කතා අන්තර්ගතයන්ගේ ඒ හැටිවෙනසක් කියන්න බැරි උනත් ව්‍යුහයේ තියෙනවා බරපතල වෙනසක් ... ජනකතා හැම එකක් ම සමාජයීය දෘශ්ඨිවාදයට අවසානවශයෙන් විසඳිලා යනවා, එනයින්ම දෘශ්ඨිවාදය ශක්තිමත් කරනවා... හැබැයි ඇම්ඩා හැමදාම කරන්නේ දෘශ්ඨිවාදය සහ ඒ ඇතුලෙ තියෙන තහංචි ටික කඩල දාන එක... ප්‍රබන්ධයකින් දෘශ්ඨිවාදය බිඳ දැමීම ප්‍රශ්ණයක්, ඒකට විසඳුම තමා ඒ බිඳ වැටීම හාස්‍යයක් ලෙස යථාව තුළ යළි ස්ථාපනය කිරීම...
        වෙනත් ආකාරයකට කිවහොත් ජනකතාවක ගම හාමිනේ වෙනත් පුද්ගලයෙකු සමග රැයක් ගත කළොත් ඊට පසු දින අඩුම තරමේ වංගෙඩියකින් හෝ ප්‍රහාරයකට ලක් වේ, ඒත් ඇම්ඩා සමහර විට රැයක් ගණිකාවක් සමග ගත කර කුකුළෙකු ද විකුණා රුපියල් බර ගාණක ලාබ පිට ගෙදර පැමිණේ ....  ඉතින් ඔබට අනාගතේ දිනක අපි දන්නා ඇම්ඩා ගැන පොඩි උන්ට කියාදෙන්නට වාසනාවක් නැති බව සංවේගයෙන් යුතුව ප්‍රකාශ කරමි. 

No comments:

Post a Comment