Tuesday, February 26, 2013

ඇයි මං තනියම රෑ 12ට මීගහකොටුවට පයින් ගියේ .... ? හේතුව 'ඇම්ම' විය හැකියි ... මුලින් ම පරිසරය විය යුතු පරිදි ම අඳුරු, පාළු සහ නිස්කලංක විය.. එහෙත් ආඝ්‍රාණයේ සීමාවට එළැඹෙත්ම සියල්ල ම මහා පාපතර මූසලකමකින් වෙලී ගියේය. එහෙත් ආපසු හැරී යා හැකි ද? මගේ තර්කාණුකූල පිරිමියා ඊට ඉඩ දුන්නේ නැත. පෝය පසු වී දවසයි, මට මතක හැටියට.. හඳ සිදුරු උණු තුරු වියන අතරින් පායා තිබුණේය. යාන්තම් කෑල්ලක් අඩුව තිබුණ ද එය පුර හඳ ම විය, වෙනසකට තිබුණේ එය කවදාවත් නැති තරම් අඳුරු පැහැයක් ගති... හරියටම කිවහොත් හඳ ලේ පාට ගැහී තිබිණි. ලේ ... ලේ .. ලේ .... කුලියාපිටිය urban legend එක මගේ ඔළුවට රිංගන්නට පටන් ගත්තේ හඳේ ලේ පාට නිසා විය යුතුය. කොලින් විල්සන්ගේ The Mind Parasite කියවීමේ ප්‍රතිවිපාක සියල්ල පොලී සමග මතු වෙමින් පැවතිණි, ඉන්න, ඒ ජනප්‍රවාදගත පාංශුමය ආඝ්‍රාණය දැනෙන්නට පටන් ගත්තේ ඒත් සමගයි .... WTF WTF මම මට ම ඒත්තු ගැන්විමි. Something Scientific මගේ තර්කාණුකූල පිරිමියා Talks Issue කලේය.... ඒත් ඒ මොහොතේ ම මගේ හිසට ඉහලින් සට සටානුකරණයෙන් ලෝකය පෙරැලීම ද මගේ කොඳු නාරටිය දිගේ ක්ෂණික සීතලක් නැග විත් මගේ හෘදය නැවතීම ද සිදු වීම ද කොයි තරම් අභාග්‍යක් ද ? .... මගේ පිහිටට නැවතත් ආවේ මගේ තර්කාණුකූල පිරිමියායි ... වවුලෙක් යකෝ ඌ වවුලෙක් ... ඔහු මගේ බෙල්ලෙන් අල්වා බෙරිහන් දුන්නේ ය .. වවුල්ලු පියාඹන්නෙ නැතුව මොන රෙද්දක් කරන්නද ? ... ඒකත් ඇත්ත ... නිහඬතාවය බින්දේ මං වාගේ කිරි බී වැඩුණු වවුලෙකු අතිනි, මම පෙරටම ඇදුනෙමි. ඊ ළඟට මගේ දකුණු පසින් වූයේ සදාතනික හිස්කමක් රඳවාගත් පාළු පිට්ටනියත් වම් පසින් වූයේ මහා ඛෙදජනක අතීතයකට හිමිකම් කියන, කිසිවෙක් තඹ සතේකට වුව අයිතිවාසිකම් කියන්නට මැලිවන පාළු ජරාජීර්ණ් වුණු ගෙය යි. කාළකණ්නි ආඝ්‍රාණය දැඩිව දැනෙන්නට විය, ආත්මය පුරා වෙව්ලිල්ලක් කාන්දු ගොස් තාර්කික පිරිමියා ද මොහොතකට නිහඬ කරවීය. WTF ඊළඟ මොහොතේ මම ආඝ්‍රාණයේ සීමාව පසු කොට ඇවිද යමින් සිටියෙමි. ඒ ඛේදජනක පුරාවෘතය මගේ මනඃකල්පිතයේ අඳුරු යටගිය තැන් අවුස්සමින් සිටියේය.
ඊළඟ මොහොතේ මම නතර වුනෙමි. SOMETHING IS WRONG ...........
මට කියන්න ඉඩ දෙන්න, පාරේ ඈත පහන් කණුවක් තිබුණේය, 'ලේ' හඳත් පායා තිබිණි, ඒ හැරෙන්නට කණාමැදිරියෙක්වත් එළිය දෙන්නට සිටියේ නැත. එහෙනම් ඇයි මට සෙවනැලි තුනක් !!!!!!!!!!!! ...... තර්කාණුකූල පිරිමියාට කරගන්නට දෙයක් නැත, ඌ කොහෙදෝ පැන ගොසිනි, කොහෙන්ද මට මේ දිගම දිග තුන් වන සෙවනැල්ල ..... ??????????? බල්ලෝ රෑනක් බුරමින් කෙඳිරි ගෑහ, මට නෙවෙයි, මගේ තුන් වන හෙවනැල්ලට .....
පොලිස් ස්ථානයේ නයිට් ඩියුටිය ඉදිරියේ ක්‍රියාත්මක විය,මම නැවතත් ජීවත් වන්නට පටන් ගතිමි......
මගේ ආපසු ගමන ගැන කිසිවක් නොකියමි, මට ඒ මාර්ගයේ ම ආපසු එන්නට සිදු විය, එකම එක දෙයක් කියන්නම්, සද්දන්ත අං තට්ටුවක් හිමි ගෝනෙක් තේජාන්විත ලීලාවෙන් පාර පැන වන ගැබට රිංගා ගත්තේ ය, ඒ මං ආපසු එන විට, කුලියාපිටියේ කොයින් ද ගෝන්නු ... ? සියල්ල පුරාවෘතයට එකඟයි, ඇය, ඔහු, ඔහුගේ සුරතල් ගෝනා, ලේ පාට හඳ, මීට වසර ගණනාවකට පෙර පෝය දිනකින් ඇරඹී ඊට පසු දින රාත්‍රියේ ලෙයින් සටහන් කොට අවසන් වූ ඛේදජනක ප්‍රේම කතාවක් .... ඒ මොහොතේ ඇය රොටී පුළුස්සමින් සිටියා ය.... කාළකණ්නි ආඝ්‍රාණය !!!!! තුන් වැන්නා ... මගේ තුන් වන සෙවනැල්ල ......
සැ.යු. කාලෝ ෆොන්සේකාට කියන්න එපා, මේව මගේ මනස්ගාත ....

No comments:

Post a Comment