Monday, July 23, 2012

ජොරාගේ ස්ටිකර් ආතල්

       විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ සෙලින් ටැලන්ට් එක වැඩි දියුණු කිරීමත් පෞර්ෂය වර්ධනය කරවීමත් S.T.F. එකට ලැබෙන තරමේ කටු කෑමේ හැකියාව වර්ධනය කරවීමත් අපහාස ගොඩක් මැද කම්මලේ බල්ලෙකු සේ සිටීමට හැකිවන පරිදි ශ්‍රවණ පද්ධතිය පන්නරය තැබීමත් අරමුණු කර ගත් වැඩසටහනක් විශ්වවිද්‍යාල තුල වෙයි. එයට උන් කියන්නේ ස්ටිකරේ යනවා කියා ය. දවසක් කට්ට කා ස්ටිකර් ටික විකුණා ගතහොත් මාස ගණනක් පුරාවට ඒ සිදුවීම් මතක් වන වාරයක් වාරයක් පාසා උන්ගේ ලේ පිරිසිදු වීම සිදුවේ.
       ජොරාට සන්සංධික හැකියාව (ඒ කියන්නෙ Negotiation  කියන එකට හරිද) හොඳට පිහිටල තියෙනව කියල හැමෝම කියනවා. ඒ තරම කොයි තරම් ද කිව්වොත් ඔහු දවස ගණිතය ගැන කතා කරන්න ගිහින් අහක හිටපු ගණිත සංගමයේ සභාපතිට ඉල්ලා අස් වෙන තැනට වැඩ සැලසුණාලු.
       ඔන්න ඉතින් ෆස්ට් ඉයර් ස්ටිකරේ පටන් ගත්ත. අපේ ඩයල් එකත් පශ්චාත්බාගෙට භූමි තෙල් පොඩ්ඩක් වැදුණ වගේ වැඩ පටන් ගත්තා. මනුස්සයා සෙනග අස්සෙ රිංගනවලු බස් වලට නගිනවලු උමං දිගේ දුවනවලු ලස්සන ගෑණු ළමයි පස්සේ ස්ටිකර් ටික උස්සන් දුවනවලු ඉඳල හිටල කලාතුරකින් ගෑණු ළමයෙක් ජොරා පස්සේ පන්නනවලු කුඩේකුත් අරගෙන. එදා හරිම කොමිටල් දවසක් කියල තමයි හැමෝ ම සාක්ෂි ඇතුව කියන්නේ.
       ඔන්න දැන් දවල් වෙලා. ජොරාගේ රබර් ඇහැට අහුවුණා ටිකක් පෙනුම තියෙන ගෑණු ළමයි දෙන්නෙක් කඩයක් ළඟ කතාවකුත් දාගෙන පාර දිහා බලාගෙන ඉන්නවා. ඉතින් පෙම් රැල්ල පොඩ්ඩක් ගස්සල රොකට් එකක් වගේ ඇදුණා එතැනට.
       "අක්කේ අපි x x x x x x විශ්වවිද්‍යාලයෙන්. අපේ ශිෂ්‍යයන්ගේ කලා හැකියාව වැඩි දියුණු කරන්න අපි හිතාගෙන ඉන්නවා කලා උළෙලක් පවත්වන්න. ඒකට පුංචි අධාරයක් විදියට ගන්නව ද ස්ටිකර් එකක්...? පොඩි ගාණයි. පර්ස් එකට දැනෙන්නෙ වත් නෑ. රුපියල් දහයයි. ගමු නේද අක්කේ ...? බලන්න පාට පාට බබාලයි ලස්සන ලස්සන් පූස් පැටව් ගොඩකුයි ඉන්නවා... නෑ පාට පාට පූස් පැටව් ගොඩකුයි ලස්සන ලස්සන බබාලයි ඉන්නවා. "
        ජොරා කියන විදියට පොරගේ ටෝක්ස් වලට මිනිස්සුන්ට ස්ටිකර් ගන්න ම හිතෙනවලු. ඉතින් අර අක්කල දෙන්නත් "අනා ෂෝයි අනා " කිය කිය ස්ටිකර් තෝරන්න ඇති කියල තමා අපට හිතෙන්නෙ. ඒත් ඒ අක්කල දෙන්න ස්ටිකර් පැත්තක තියල ජොරා දිහා බලාගෙන හිටියලු. එක පාරම එක්කෙනෙක් පුංචි නැලවිල්ලක් දාල කිව්වලු....
        "මල්ලි අපිත් විකුණන එක තමා කරන්නේ ගන්නවද?"
       තත්පරයක් දෙකක් තෝන්තුවෙන් වගෙ හිටපු ජොරා පණ එපා කියල එතැනින් මාරු උනා කියල තමා ආරංචිය. කොහොමහරි ඔය සිද්ධියෙන් පස්සේ මනුස්සයගේ සෙලින් රේට් එක හොඳට ම පහත බැහැල තියෙනවා, එදා දවසෙදි විතරක් නෙවෙයි ඊළඟ අවුරුදු දෙකේදි ම ...

No comments:

Post a Comment