Thursday, July 26, 2012

පන්තිය (ඈ දුටු සිහිනයක් මා අතින් කෙටි කතාවකට නැගිණි. කියවන්න.)

             අප්පච්චි කාරය ගෙනවිත් පෝටිකෝව ඉදිරිපිට නතර කරන විට උදෑසන අට යාන්තමට පසුවී තිබිණි. මම කැබිනෙට්ටුව ඇර එහි තිබූ අළුත් සී ආර් පොත් දෙක ද රූපවාහිනිය පිටිපස දුහුවිලි කමින් තිබූ අඩක් පමණක් තීන්ත තිබුණු කළු පෑනක් ද  ගෙන වැරණ්ඩය දිගේ දිව ගියෙමි. 
            "පරක්කු ද අප්පච්චි?" මම දුර තියා ම ඇසුවෙමි. ඔහු ඔරලෝසුව දෙස බලමින් කිසිවක් නොකියා ම වාහනය පණ ගැන්වූයේ මම කඩිමුඩියේ ඉදිරි අසුනට පැන ගතිමි. 
            වැරැණ්ඩය පුරා පැතිරී තිබුණු ඕකිඩ් මල් ගොමුවේ වූ ලස්සන ම ඕකිඩ් මල මගේ කොණ්ඩ කට්ටේ පැටලී තිබිණි. කාරයේ වීදුරුව පහත හෙලා මම එය ටයිල් පඩිය මත අතහැරියෙමි. 'අම්මිට තරහ යයි.' මට සිතිණි.
            සිරිදාස යෝධ ගේට්ටුව දෙපසට අදින්නට වූයෙන් එය කිරි කිරි ගා කුම්භකර්ණයෙකු සේ අවදි විය. ඊළඟට අපි අළුත කාපට් කරන ලද පාරේ වේගයෙන් ඈතට යමින් සිටියෙමු. මම හැරී බලන විට ඉනේ ගසාගෙන සඟවාගෙන සිටි දත් බුරුසුව අතට ගත් සිරිදාස යෝධ ගේට්ටු පළු දෙක පරිවාර කරගෙන  රජෙකු මෙන් නැවත දත් මදිමින් සිටියේය.
             "පරක්කු වෙයි ද අප්පච්චි" මම නැවතත් ඇසුවෙමි. 
             ඔහු හිස සැලුවේය. "නෑ ලොකු දුව"
             හ්ම්. මම කණ්ණාඩියට මුහුණ ඔබාගෙන කොණ්ඩය සකසා ගතිමි. දකුණු නළලින් වැටෙන කෙස් ගස් පහ හයක සියුම් කෙස් කැරල්ල සාදා ගැනීමයි මගේ අරමුණ වූයේ. එය සීමාව ඉක්මවා පිළිවලට හෝ අපිළිවලට තබා ගත් යුතු නැත. එය නිරන්තරව තබාගත යුතු ආකාරයක් ඇත. කොණ්ඩය  ස්ට්‍රේට් කරන විට බොහොම අමාරුවෙන් ඒ කෙස් කැරල්ල ඉතිරි කර ගත්තේ මූර්තියක් අඹන විටෙක මෙන් සියුම් ව සකසා ගත යුතු එකදු ස්වභාවික කෙස් කැරල්ලකුදු ඉතිරි කර ගත යුතු නිසා ය.
            සද්දන්ත කොට ලොරි කිහිපයක් වේගයෙන් අප පසු කර ගෙන ගි‍යහ. ඒවායේ ඇත්තු දෙතුන් දෙනෙකු තරමට බර කොට කැබලි එක් කොට හීන් කේබල් වලින් ගැට ගසා තිබිණි. මොරටුවේ යක්ෂ දැති රෝද උන් එනතුරු සා ගින්නෙන් පෙළෙන ආකාරය මගේ හිතේ මැවී පෙනිණි.
            මම පිටුපස වීදුරුවෙන් අප පසුකරගෙන ආ මාවත දෙස ආපසු හැරී බැලුවෙමි. අප පසුපසින් කිසිදු වාහනයක් ඇදී නොයෙයි. මහළු බොම්බයි මොටයිකාරයා තනිව සිය කරත්තය තල්ලු කරගෙන එයි. පැරණි වුව සුපුරුදු තේජස්වී විලාසයෙන් අහසට නැගුණු ගොඩනැගිලි අතර ඔහු කරන්නේ පලක් ඇති දෙයක් දැයි මට මෙන් ම ඔහුට ද ගැටලුවක් වන්නට ඇත. සමහරවිට අවුරුදු හැට හැත්තෑවක් තිස්සේ තමා කල කී දේ ආත්මාපහාසයකට ලක් කිරීම ඔහුගේ අරමුණ වන්නට ඇත. ඔහු තවමත් තල්ලු කරගෙන යන්නේ ජීවිතයයි. 
            "අප්පච්චි මට බඩගිනියි." මම කීවෙමි. 
            "දැන් පරක්කුයි ළමයෝ." අප්පච්චි කීවේය. "ක්ලාස් එක තියෙන්නේ පැය දෙකයි. ඉවසල ඉන්න. ඔයානෙ පරක්කු උනේ. නැත්තම් කාල එන්නත් තිබුණ."
            එහෙත් අප්පච්චී තරබාරු කෝකියෙකු දුම් දමන පාන් බාගයක් රැගෙන යන ආකාරය දැක්වෙන පුවරුවක් අසල වාහනය නවත්වා, බැස ගොස් දුඹුරු පැහැ කඩදාසි කවරයක් රැගෙන ආපසු පැමිණියේය. මම එහි තිබු හොට් ඩෝග් දෙකේ සොසෙජස් කැබලි පමණක් කා ඉතිරිය හෝමාගම හංදියේ පරවි විමානය මතට අතහැරියෙමි. ඔවූහු යටහත් බව පෙන්වන්නට අහසට නැග ඉනික්බිති ව පාන් කැබැල්ල මතට කඩා පිනූහ. 
            දැන් ගොඩනැගිලි අතර පරතරය ඊජිප්තුවේ පිරමිඩවල ගල් කුට්ටි අතර පරතරය වාගේ ය. උදෑසන රැකියා කරා යන උන් ඒවා ඇදගෙන ආ වහළුන් වාගේ ය. වීදිය පුරවාගෙන ඇදෙන මෝටර් රථ ගංඟාව උන්ට සමාජ තත්ත්ව කසයෙන් පහරදෙමින් යන ප්‍රභූ පැලන්තිය මෙනි, නැත්නම් ඇළුමිනියම් සිර මැදිරිවල ලා ඇදගෙන යන නොහික්මුණු වහල් පිරිසක් වාගේ ය. 
             "අප්පච්චි අද ඔෆිස් යන්නෙ නැද්ද?" මම ඇසුවෙමි. එය ඇසිය යුතු දෙයක් නොවේ, මට මතක ඇති දවසක සිට ඔහු ඔෆිස් යයි. මා ද මතක ඇති දවසක සිට එය ඔහුගෙන් විමසමි.
              "ඔව්." අප්පච්චි කීවේය. " අද ඒ හැටි වැඩක් නෑ. ඒත් යන්න ඕනෙ."
              රජයේ රෝහල ඉදිරිපිට සවිකොට තිබුණු Honking is Prohibited දැන්වීම කොයිතරම් නිග්‍රහයට පත්ව තිබුණේද යත් එය මළකඩ පැල්ලම් වලින් මුහුණ වසාගෙන තණකොළ බිම මතට හරවාගෙන සිටියේය. දැන් එහි පෙනෙන්නට ඇත්තේ Honk යන්න පමණෙකි. ඉතින් රියදුරෝ දැඩි විශ්වාසයෙන් යුතුව හතර අතට හෝන් ගැසූහ. මාර්ගය මැද සිටි පොලිස් නිලධාරියා සිය කෝපය පිටකරගනු පිණිස ඊටත් ඉහලින් කර්ණකටුක රාවයක් ඇති විස්ල් එකක් පිම්බේය. ඔහුගේ ඒ එක් නි‍යෝගයකට පිළිතුරු විස්සක් තිහක් සැනෙන් නැගේ. පුදුම හිතෙන තරම් උද්වේගකර සීතල යුද්ධයකි එය. ශිෂ්ඨාචාරයේ ඇති ඇවිරුණු කලබලකාරී ස්වභාවය පෙන්වන්නට හෝන් හඬ භාවිතා කොට සංධ්වනියක් ලියන්නට කිසිවෙකුට හෝ සිතී නැත්දැයි මම කල්පනා කලෙමි.
             මම සිතන්නට වුනෙමි. සුවිසල් ප්‍රෙක්ෂකාගාරයක්.. වැදගත්,  නමුත් සංගීතය ගැන මෙලෝ හසරක් නොදන්නා ගැහැණුන්ගෙන් හා පිරිමින්ගෙන් එය පිරී ඇත. දිගු කබා, රෝස මල්, පාට පාට පිම්බූ ගවුම්, බස්තම්, උස තොප්පි එකාවන් ව පෙල ගැසී සිටින්නේ සංගීතය රස විඳීමට නොව විචාරය කිරීමට ය. රත් පැහැ යෝධ විල්ලුද තිරය විවර වන විට ඔවුන්ගේ තොල් අග උපහාසාත්මක ලෙස ඇකිලෙයි. "බලමු.. මිනිහ අමුතු වැඩ කරන්න ගිහිල්ල  නා ගනියි ද කියල."
            වේදිකාව මත දිග හැරෙන රූප වින්‍යාසය කලාත්මක ආඛ්‍යානයක් මත සංවිධිත වූවක් ද නැත්නම් හුදෙක් ප්‍රසිද්ධ රථ ගාලක් පමණක් ද යන ක්ෂනික විස්මෘතිය බිඳ හෙලමින් ප්‍රථම ස්වරය වැයේ. එය අළු පාට දිග කාරයක නලා හඬකි. වාදකයා සුදු පැහැ නිළ ඇදුමක් ඇද සිටි හෝටලයක ප්‍රධාන පෙළේ රියැදුරෙකි. ඔහු ඔබ නිදිබර දරාගත නොහී කාරයේ සුක්කානම මත වැතිරී නිදා ගන්නා ආකාරයට සුවසේ වැතිර සිටියේය. එහෙත් ඔහු දකින සිහිනය බරපතල එකක් විය යුතුය. ඔහු සුක්කානම් රෝදය මත ඒ මේ අත පෙරැළුණේය. ඔහුගේ හිසට තද වන වාරයක් වාරයක් පාසා නලාව බෙරිහන් දෙයි. ඊ ළඟට නිල් පැහැති සෙඩෑන් රථයක නලාවකට පණ ආවේය. එය අපූර්ව ආකාරයකට අනෙක් නලා හඬ සමග මුසු විය. රියදුරෝ දෙදෙනෙක් කහ ඉරක් ඉදිරිපිට නැවතී මිත්‍රශීලී සංවාදයක් පවත්වන සෙයකි ඉන් පෙනුනේ.
               "මචං මට නිදිමතයි."  අළු පැහැති රථයේ රියදුරා අපහසුවෙන් එක් ඇහි පිල්ලමක් ඔසවා ගනියි. "කොළ එලිය වැටුනාම මට කියපං හරිද?"
               "නින්ද වගේ ද බං, ඇහැරල බලපංකො" සෙඩෑන් රථයේ රියදුරාගේ ඇස් දෙක රථයේ හෙඩ් ලයිට් දෙක වාගේ අතිවිශාලය, දීප්තිමත්ය. "බලපං අර කහ පාට කොටුවෙන් කොටුව පනින නංගිල දෙන්න දිහා. උන් දෙන්න ඇමෙරිකාවෙ ජනාධිපති අතින් කීප වාරයක් ම දූෂණය වෙලා කියල මට සෑහෙන විශ්වාසයක් තියෙනවා."
                ඔවුන් දෙදෙනා හැරමිටියකට වාරු වී අමාරුවෙන් පාර මාරු වන ස්වීප් ආච්චි කෙනෙකු පසු කර අඩි උස සපත්තුවෙන් ටකස් ටකස් ගා තාර පාරට ඇන ඇන පිරිමින්ගේ ඇස් නිතඹේ ගැට ගසා ගත් වෙළඹ යුවලක් සේ පැන දිවූහ. ඔවුන්ගේ ඇඳුමේ සෑහෙන කොටසක් ද ඇඟේ රෝම කූප ද කෙස් වැටියේ රැළි ද ඇහිබැමේ ස්වභාවික ගතිය ද දැනටමත් ෆ්‍රෑන්ක්ලින් ඩබ්ලිව්. ඩි‍‍ක්සන්ගේ මූණත්තහඩුවට විකුණා ඇත. ඔවූහූ එම ගණුදෙනුව පිළිබඳ කොතරම් සතුටු වනවා ද යන්න ගැන දැන ගැනීමට ඔබ ඔවුන් තරබාරු තාරාවියන් දෙදෙනෙකු මෙන් පදිකයින් අතර පැන පැන ගිය හැටි දැක ගත යුතුම ය. ඉන් එකියක් මුහුණ පුරා රැවුල වවාගත් තද රතු පාට කමිසයක් ද කලු පාට ලාබ කලිසමක් ද ඇඳ සිටි මිනිසෙකු සමග ආරවුලක පැටලෙනු දැකගත හැකි විය. රබර් සපත්තු දෙකක් පැළඳ සිටි ඔහුට කකුල උඩින් වාහනයක් ගියානම් හොඳයි හිතෙන තරම් තදින් ඇය ඇගේ අඩි උස සපත්තුවෙන් ඔහුගේ පිටි පය පාගා ඇත. ඒ සමගම ඔහුගේ ගොරහැඬි මුවෙන් කොයිතරම් සරල ව සහ සුගම ව නොසරුප් වදන් මාලාවක් ගලාගෙන ආවේද යත් ඇය තෝන්තුවෙන් මෙන් ඇගේ මිතුරියගේ ඇඟට වාරු වූවාය. "සොරි." අවමානය හා බිය හේතු කොට ගෙන ඇගේ ඇස් වලින් කඳුළු වැගිරෙන්නට විය. ඇය සිය ඇස් නිල් පාටින් පෙනෙනු පිණිස පලඳන සිවිකාච දෙකෙන් එකක් කඳුළු නිසාම බුරුල් වී ගැලවී බිම වැටුණි. දැන් ඇගේ එක ඇසක් නිල් පාට ය. අනෙක කළු පාට ය. 
                 කන්ටේනරයක ටයරයක් සිදුරු වී ඉන් වාතය පැන දුවන තරම් ඉක්මනින් රැවුල්කාරයාගේ කෝපය පළා ගියේය. මොහොතකින් ඔහු ඇය සනසන මට්ටමට මෘදු විය. එය ඇගේ පළායාමේ අවස්ථාවයි. වහා බිම අතගා වැලි වැකුණු සිවිකාචය අතට ගත් ඈ මිතුරිය ද අතින් ඇද ගෙන සෙනග අතර අතුරුදන් විය. මිනිසාගේ ඇස් නෙරවී අනුකම්පාවෙන් පිරී තිබිණි, එනිසා ඔහුට ඔහුගේ යටිබඩ පෙදෙසින් නැගී ආ තදබල වේදනාවට වුව අවධානය යොමු වීමට සෑහෙන වෙලාවක් ගත විය. කාචය ඇහිඳ ගැනීමට පහත් වන අතරතුර ඇගේ උල් කුඩය අහම්බෙන් ඔහුගේ යටිබඩ පෙදෙසේ ඇනෙන්නට ඇත. ඔහුගේ වේදනාවෙන් ඇද වුණු මුහුණේ තවමත් ඉතිරි ව පශ්චාත්තාපය වන්නට ඇත්තේ "පව් ඒකි." යන්න විය යුතු ය.
                 අප්පච්චි නොසන්සුන් වී සිටියේ ය. වාහන තදබදය වෙනදාට වඩා අධිකය. උස් ගොඩනැගිලි කවුළුවලින් පවා නුපුරුදු නොසන්සුන්කමක් රූරා බසියි. ඇක්සිඩෙන්ට් එකක් වගෙයි, සුපුරුදු පළමු හේතු දැක්වීම. එහෙත් අප පසුකරගෙන ගිය නගරසභාවේ කුණු ලොරියේ රියදුරා දවසේ කැපී පෙනෙන චරිතය වනු පිණිස ඔහු දන්නා දේ හැමෝටම කියාගෙන ගියේය. 
                 "පිකටින් එකක්. කැම්පස් එවුන්ට ආයෙත් මද කිපිල. මුන්ට නිකං උගන්නපුව කටින් එන්න පස්සට පොල්ලකින් දෙකක් අතෑරියනම් හරි."
               රතු ඉරි ද ප්‍රධානීන්ගේ මුහුණු ද පෞද්ගලික පන්තිවල ගුරුවරුන් ද ගොඩනැගිලි බිත්ති අතරින් කරපොවා බැලූහ. කටු කා පුරුදු පෞද්ගලික බස් රථ පවා ඉස්සි ඉස්සී එබී බලමින් සිය තරබාරු ශරීරය රිංගවාගත හැකි ඉඩක් නොදුටුවේ කළු පාට දුම් කැරලි විදිමින් කෝපය පල කළහ. කුඩා මෝටර් බයිසිකල් දෙක තුනක් පමණක් පදික වේදිකාවේ යනෙනවුන් අතරින් ද ගල් ගැහුණු රථ වාහන ගංඟාව අතරින් ද රිංගා මග සොයා ගත්හ. අසරණ පීසා බෙදන්නා එතරම් නම්‍යශීලී නොවූයේ බෙන්ස් කාරයක් හා ලෑන්ඩ් මාස්ටරයක් අතර සිය පීසා පෙට්ටිය හිරකර ගත්තේය. ඔහුගේ දකුණු කණ ඉංග්‍රීසි කුණුහරුපයෙන් ද වම් කණ සිංහල කුණුහරුපයෙන් ද යහමින් තෙම්පරාදු වන්නට විය. 
                අප්පච්චී ඔරලෝසුව බැලුවේය. අටයි විස්සයි. ඔහු යටි තොල හපාගෙන කල්පනා කළේය. 
                "අපි පයින් යං." ඔහු වටපිට බලා කිසිදු කාකි නිල ඇදුමක් නොදුටුවේ වහා තනි සුදු ඉර කපාගෙන වාහනය ආපසු හරවාගත්තේය. ඔහු ඇක්සලේටරය තදින් පෑගුවේ හදිසියට වඩා වරදකාරී හැඟීමෙන් මිදීමට විය යුතුය. නගරසභාවේ රථගාලක කාරය නැවැත් වූ ඔහු කවුන්ටරයෙන් රිසිට් පත උදුරාගෙන මා දෙස නොබලා ම පාරට පිළිපන්නේ ය. ඉතින් මට ඔහු පසු පස දිවයන්නට සිදු විය.
                නැවතත් අපි උද්වේගයෙන් රත් ව ගිය වීදි අතරට පිළිපන්නෙමු. චතුරස්‍රය දෙසින් ගෝෂාවක් නැගේ. කිසිවෙක් ලවුඩ්ස්පීකරයකින් බෙරිහන් දෙයි. තවත් කටහඬ සිය ගණනක් එයට කෝරසය නංවයි. ඒත් තවමත් කිසිවක් පැහැදිලි නැත. ඔවුන් මෙවර ඉල්ලන්නේ එක තත්පරයක් හෝ තම ඉල්ලීම්වලට කන් දෙන්න කියා විය යුතුය. මන්ද යත් ඔවුන් කොයි තරම් බර වචනයෙන් සිය ප්‍රකාශවලට සහ ඉල්ලීම්වලට වැදගත්කමක් එක් කල ද ඒවා ඇස් කන් වලට කඩා පනිනු පිණිස උස රූපවාහිනී කුළුණුවලට නගිද්දී මනා කොට පෙරණු ලබන්නේ අවසානයේදී ඉතිරි වන්නේ පොඩි එකෙක් සෙල්ලම් කාරයක් ඉල්ලා කරන අන්දමේ බෙරිහන්දීමක් වන බැවිනි. කොයි තරම් ආදරබර මවක වුවද දෙතුන් වතාවකට පසු ඒවා නොසලකා හරින්නට පෙළඹෙනු ඇත.
                "සෙකන්ඩ් ඉයර්ස්ලට ඉක්මනට එන්න කියපන්" කළු කෙට්ටු කොල්ලෙක් තවත් දෙදෙනෙකු සමග වීදිය පහලට දිව ගියහ. "කොහොමහරි පාර බ්ලොක් කරගත්තනම් නිව්ස් වලට පිකට් එක දා ගන්න බැරිවෙන එකක් නෑ."
                 ඔවුන් අළුත් මෝස්තරයන්ට අනුව කොන්ඩය කපා නැත, කමිසය කලිසමට යට කොට නොතිබුණද ඒවායේ වෛවාරණ රූප නැත, පා වැසුම් වූයේ රබර් සෙරෙප්පු ය. ඉතින් ඔවුන් කැම්පස් කොල්ලන් බව කියන්නට ඔවුන්ගේ වචන අත්‍යවශ්‍ය ම නැත. 
                  "මටත් බියර් එකක් ඕනෙ" තවත් එකෙක් රුපියල් සීයේ කොළ දෙකක් තවකෙකුට දී ආපසු දිව ගියේය. "පොලීසියෙන් ගැහුවත් එතකොට ආතල් එකේ ගුටි කන්න පුළුවන්."
                   චතුරශ්‍රය වසා ගත් සිසුහු හාරසීයක් පන්සීයක් බැනර් කටවුට් හා නිදහස් අධ්‍යාපනය යනුවෙන් සඳහන් කල මිනී පෙට්ටියක් ඔසවාගෙන සටන් පාඨ කියූහ. එකෙක් දිය පොකුණ මැද තිබූ ප්‍රථිමාවේ අශ්වයාගේ ගෙලේ එල්ලී බැටරි ලවුඩ්ස්පීකරයෙන් වටපිට දක්නට ලැබුණු ගස් ගල් වලට පවා සටනට ආරාධනා කරමින් වහසි බස් වගුලේය. නළ ළිඳක දිය බිඳක සිට ලංකාවේ උස ම ගොඩනැගිල්ලේ ඇන්ටනාවක ඉහලින් ම ඇති ඇණ මුරිච්චිය දක්වාම පවත්නා රජයට අයත් බව ඔහු නොකියා කියයි. ඉඳ හිට ඔහුට ගොත ගැසෙන්නේ 'එතකොට මං අයිති කාටද ?' යන සාධාරණ ගැටළුව ඔහුගේ හිසට කඩා පාත් වන නිසා විය හැක.
                     "නංගි මල්ලි මේ අහන්න ...." රිද්මයානුකූල ගෝෂාව උස් ගොඩනැගිලි අතර දෝංකාර දේ. යකඩ කට ගෙල සිර කරනු ලැබ ගොරොද්දය අදින එහෙත් තවමත් දමනය නොවූ යක්ෂයෙකුගේ සේ ආවේශ වී ඇත. උගේ යක්ෂ පැටව් ගෙල රුධිර වන් ගැහෙන තුරු අහසට පැන පැන බෙරිහන් දුන්හ.
                     "නංගි මල්ලි මේ අහන්න 
                    උඹල ඉන්නෙ ඉගෙන ගන්න
                    ඩිග්‍රිය රට පටවන කොට
                    තොපිට වෙන්නෙ හිඟා කන්න......"
                    ප්‍රතිමාවේ පාදමේ සිට පැන නැගුණු ඉරි තැල්මක් තාර පාර දිගේ ඇවිද ගොස් පදික වේදිකාවේ සපත්තු පහර වැද මාර්ග සංඥා කණුවක් වටේ කැරකී වැතිර සිටි මයිල් හැලුණු බැල්ලකගේ තෙත හොඹුව අන්ධයෙකු සේ අතපත ගා අන්තිමට අසල තිබූ බිත්තියකට පැන හැල්මේ ගඩොල් කැට අතරින් ඉහල නැග වහලය අගින් අහසට පැන සියදිවි නසා ගත්තේය. එය මල් වෙඩිල්ලක් සේ අහස මැද පුපුරා යත් ම ඉන් එළිය වුණු යෝධ කටවුට් එකක ජනාධිපතිතුමා මුව පුරා සිනා සෙමින් සිටියේය. ඔහු ඉදිරියේ ඇති මේසයක කැවුම්, කෙසෙල්, කිරිබත් හා කහ පාට දිලිසෙන ආනමාළු කැණක් දැල්වෙන පොල්තෙල් පහනක් වටා පිළිවෙලට තබා තිබුණි.
                    මම කලබලය අතරින් අප්පච්චිගේ අතේ එල්ලී ගමන් කළෙමි. එහි අගටම වන්නට සිටි කෙල්ලන් පේළිය කුඩ දිග හැරගෙන රෝස පාට ලේන්සුවලින් මුහුණ පිස දමමින් කොයි තරම් සුකොමළ ලෙස සටන් පාඨ ප්‍රකාශ කලේද යත් ඔවුන් වහෙන් ඔරෝ භාෂාවෙන් ඇමති පුතුන්ගෙන් ආදරය බලාපොරොත්තු වන්නේදැයි සැකයක් ඇතිවෙයි. 
                      "මාධ්‍යවල පච දොඩවයි
                     මෝඩයන්ට වැඩ පෙන්වයි
                     කෙහෙල් ගහට කොටපු දාට
                     ඇමති තොගෙත් හොට පැටලෙයි................"
                     අපි සිසු ගඟ පසු කලෙමු. ඉනික්බිතිව වුයේ පොලිස් ප්‍රාකාරයයි. මාර්ග බාධක, බැටන් පොලු, තුවක්කු, දිලිසෙන පිත්තල පට්ටම්, කඳුලු ගෑස් බවුසර, විධානයේ නාමයෙන් බල්ලන් සඳහා කෑමට වෙන්කරන මනුස්සකම ආදී බොහෝ දේ පුරවා ප්‍රාකාරය ගොඩ නගා තිබිණි. 
                    අටයි විසි පහයි. අපි වේගයෙන් චතුරස්‍රය පසු කොට අඳුරු ගොඩනැගිලි ගහණ පෙදෙසකට ආවෙමු. පදික වේදිකාවේ යනෙනවුන් ප්‍රමාණය හීන වී ගියේය. චතුරස්‍රයේ ගෝෂාව දැන් ඇසෙන්නේ නැත. ඒ වෙනුවට අපේ පා ගැටෙන හඬ පමණක් අප හඹා එයි. එය තත්පර කටුවක හඬානුකරණයෙන් ආපසු ගණනය කරයි. පන්තිය පටන් ගන්නේ අටයි තිහට.
                   මැදිවියේ පුද්ගලයන් දෙදෙනෙක් අප පසු කරගෙන ගියහ. ඔවුන් පය ඉක්මන් කර යන්නේ පිකටින් නාට්‍යයේ අවසන් ජවනිකාව අවසන් වන්නට ප්‍රථම එහි යා ගන්නට විය යුතුය. ඒ විශ්‍රාම ලැබ ගෙදරට වී අලස ව කල් ගෙවූවන් දෙදෙනෙකු විය හැක. දැන් ඔවුන්ට කුඩා සිවිල් යුද්ධය නරඹමින් විශ්ලේෂණය කිරීමට අවස්ථාව සැලසී ඇත.
                    "ඔය අළුතින් ටෙන්ඩර් කැඳවල තියෙන්නෙ, එසේ මෙසේ කඳුළු ගෑස් වර්ගයකට නෙවෙයි" එකෙක් කියාගෙන ගියේය. "ඔයින් එක පාරක් අහසට ඇල්ලුවම මුන්ට කැවිල තියෙන දෙයියන්ගෙ හාල් ටික නහයෙනුත් එක්ක යයි."    
                   වීදිය දුඹුරු පැහැ පැරණි ගොඩනැගිල්ලක් අසලින් අවසන් වී තිබිණි. කලකට පෙර හෙලි අමෝරාගෙන ගොඩනැගිල්ල මුර කල යකඩ වැට දැන් මරණාසන්නව නිරුවත් ගඩොල් කුළුණුවල එල්ලී සිටියේය. මුලදී අඩි පාර පැන ගන්නට පවා ඉඩ නොලද තණකොළ යාය දැන් ගඩොල් බැම්ම මතට නැග නගරය දෙස එබි බලා සිටියේය. අප දුටු ඒවා අයසට ගිය විලෝ ගස්වලට ද මල් පීදෙන සමය පසු කල රෝස පඳුරු ගොමුවට ද අපේ පැමිණිම දන්වා සිටියේය. ඒවා කීප වාරයක් සර සර ගා සෙලවී ගියේය. ඒ හඬ හැරෙන්නට ගොඩනැගිල්ල වලක ලූ මිනී පෙට්ටියක් බඳු විය.
                    අපි වන වැදුනු උද්‍යානය පසු කර  දිගු පිය ගැට දෙක තුන නැග උස් දොරකඩින් ගොඩනැගිල්ලට ඇතුළු වුනෙමු. මුලින් පා තැබුවේ අප්පච්චී වුව ද ඊළඟට පා තැබූ මගේ පා හඬ නිහඬතාවය බිමට සමතලා කරමින් අඳුරු ශාලාව පුරා දෝංකාර දුන්නේය. අප්පච්චී පියවර දහයක් පහළොවක් ඉදිරියට ගොස් ආපසු මා දෙස හැරී බලන විටත් දෝංකාරය අවසන් වී නොතිබිණි. ඔහුගේ හිස දෙපසින් අන්තිම දෝංකාර රැල්ලත් මා දෙසට පියඹා ආවේය. 
                     "ඉක්මන් කරන්න ළමයා." අප්පච්චී කීවේය. "දැන් ක්ලාස් එක පටන් ගෙනත් ඇති."
                     සිස්ටයින් දේවස්ථානයේ වහලය තරමට ම වාගේ මේ ගොඩනැගිල්ලේ වහලයත් උස ඇති, මට සිතිණි. ඉහලට යත් ම ඝණ වුණු අඳුර නිසා එය දැකගත නොහැකි විය. මම අප්පච්චී ළඟට දිව ගියෙමි, කොළඹ කොහේ දී වත් මා අත්විඳ නොමැති පාළුවක් හා කුඩා බවක් මා තුලට කාන්දු වෙමින් තිබිණි. 
                   මම දුඹුරු පැහැ ගලින් කල බිම මත අප්පච්චී ළඟින් ම ඇවිද ගියෙමි. ශාලාව මැදින් පුරාණ පෙනුමැ'ති පුළුල් පියගැට පෙළක් ඇරඹී ඉහලින් වූ අඳුර තුලට රිංගා අතුරුදන් වී තිබිණි. අපි ඉක්මන් ගමනින් පියගැට පෙළ නැග ගියෙමු. පියවර හඬ දෝංකාර දෙන රිද්මයේ කුමක් හෝ බියකරු කමක සේයාවක් සටහන් වි තිබිණි. ඉතින් අපි දෝංකාරයේ රිද්මයට අනුගත වනු පිණිස ගමන වේගවත් කළෙමු. එවිට දෝංකාරයේ පා හඬ අබිබවා සැබෑ පා හඬ අපට ඇසෙනු ඇත. අපි පියවරක් දෙකක් එසේ දෝංකාරය පාගා ජය ගතිමු. එහෙත් අප ගමන් වේගය වැඩි කල සැනින් දෝංකාර පා ගැටුම ද වේගවත් විය. ඉතින් අප එය අල්ලා ගැනීමට අපේ වේගය තවත් වැඩි කලෙමු. කෙසේ වුව ද දෝංකාරය පරාජය බාර නොගත්තේය. එය සෑම විටම අපට ඉදිරියෙන් පැන පැන දුවයි. අප හඹා යාම පල රහිත බව වටහා ගෙන හති හලමින් නතර වන විට පියගැට පෙළේ පාමුල අඳුරට යට වී තිබිණි. තවමත් පියගැට පෙළේ අවසානය අඳුරින් මෑත් ව නිරාවරණය වූයේ නැත. වටපිටාවේ අඳුර මැද එල්ලෙමින් තිබූ පියගැට පෙළ හැරෙන්නට වෙනත් කිසිවක් නොවීය.
                   කෙමෙන් අහස මැදින් ළා නිල් පැහැ පිපිරුමක් දිව ගොස් සුවිසල් පළිඟු ගෝලයක් සේ චන්ද්‍රයා මතු ව එන්නට විය. එය ඉන්ද්‍රජාලික වෘකයෙකුගේ කාරුණික ඇසක් බඳු විය. ඉන් මීදුම මුසු වූ හීතල චන්ද්‍රාලෝකය වැගිරී අරමුණක් නැති මද පවනට එක් විය, මගේ නිරුවත් උරහිස ද නාසය ද තෙමාගෙන අප පසු කරගෙන ආ සදාතනික අන්ධකාරය කරා බැස ගියේය. පිය ගැට පෙළ ද මිහිදුමෙන් දිය බර ව රෑ අහසේ බොඳ ව ගිය පිලිබිඹුවක් මැවී ය. අප ඉක්මන් කල යුතු ය, පා ගැටී ඒ පිලිඹිබුව බිඳෙන හැටි නැරඹීමට තරම් කල් නැත, පන්තිය පටන් ගන්නේ අටයි තිහට.
                   අප යෝධ පත්‍රයක නාරටිය දිගේ ඉහළ නගින්නා සේ ය. ප්‍රධාන පියගැට පෙළට තවත් අතු පඩිපෙළ බොහෝ කොට සම්බන්ධ ව ඇත දැන්. ඉන් බොහෝමයක් භාවිතයට නොගැනීම නිසා ම කැඩී බිඳි අබල දුබල වී ඇත, මා බලා සිටියදී ම එක් බැම්මක වූ පැතලි ගලක් ලිස්සා ගොස් අගාධයේ අඳුර තුල කිමිදී නොපෙනී ගියේ ය. මම පැති බැම්මේ එල්ලී එය තවදුරටත් පෙනේ දැයි බැලීමි. චන්ද්‍රාලෝකයට යාන්තම් දිස්න දුන් මලානික වළා ගොහොරුව හැරෙන්නට කිසිවක් සිදු නොවූ පරිද්දෙන් සියල්ල නිහඬ ය. 
                   "ඉක්මන් කරන්න ළමයා" අප්පච්චී මගේ පමාව දැක කීයේ ය. "මට හරියට මතක නෑ නේ ක්ලාස් එක කොහෙ ද තිබුණේ කියල"
                    මම මොහොතක් අන්ධකාරයෙන් ඇදී එන හීතල සුළඟට මගේ කෙහෙරැළි අතර රිංගන්නට ඉඩ දී අප්පච්චී පසු පස දිව ගියෙමි. 
                    දැන් දැන් අහස කරා නැගුණු පෞරාණික ශෛලමය කුළුණු නිරාවරණය වෙමින් පැවති චන්ද්‍රයාගේ ළා නිල් පැහැ ආලෝක ධුමාරය ද ඒවා‍යේ මතුපිට දිය සීරාව ද කරණකොටගෙන පුරාණ නයිට්වරුන්ගේ අවතාර සේ මහත් ප්‍රෞඩත්වයක් විහිදුවයි. ඔවූහු යළි කිසිදා නොඑන අවසන් සටනට බියුගලය නාද කරන තුරු නිදා සිටිති.
                    "අප්පච්චි" ඔහුගේ පාරේ ගොස් පන්තිය සොයා ගත නොහැක, මම අන්තිමට එය ඔහුට කියන්නට තීරණය කලෙමි." අපි වෙන පඩිපෙළක යමු, අන්න අරක හොඳයි." 
                   අප්පච්චී මොහොතක් නතර ව කල්පනා කොට පෙරමුණ ගත්තේ ය. "බලන්නකො ෂිහ් මට හරියට පාර මතක නෑ නේ."
                   අපි අතු පාරකට හැරුනෙමු. බොහෝකොට කුළුණු විසිරුණු, ඒවායේ සෙවනැල්ල නිසා ම අඳුරු වුණු, කලකින් පා ගැටුමක් නොලද මගකි එය. අපි ඉක්මනින් නැග ගියෙමු. මොහොතකුදු ඔරලෝසුව දෙස නොබලා - දැන් අනිවාර්යයෙන් ම අටයි තිහ පසු ව ඇති නිසා - ටකස් ටකස් ගා ආගාධයට කතා කරමින් පියගැට පෙළ නැග ගියෙමු.
                   වටපිටාව ඇඟ හිරිගඬු නංවන තරම් ශීතල වෙමින් පැවතිය ද මගේ පපුව ගල් අඟුරු කෝච්චියක් වාගේ පිස්සු නටන රත් වුණු පිස්ටන් ගොඩක් වී තිබිණි. මට හති.. මේ මොන මගුල් ක්ලාස් එකක් ද? .. මම හිත යටින් කොඳුර කොඳුරා සිටියෙමි, එකවර ම කෝච්චිය මිටියකින් මැස්සෙක් තැළුවා සේ නතර වන තුරු. පඩිපෙළ මට ඉදිරියෙන් අනපේක්ෂිත ලෙස අතුරුදන් වී තිබිණි. "අප්පච්චී" මම බෙරිහන් දුන්නෙමි. එහෙත් ප්‍රමාද වැඩී. ඔහු අඳුරු රේඛාව තරණය කලා පමණි. 
                    "ඇයි?" ඔහු වහා හැරී බැලීය. "මොකද?"
                   අප්පච්චී සුරක්ෂිත ව අහස මැද සිටගෙන සිටියේය. මම පඩිපෙළ අවසන් වූ තැනට ගොස් එබී බැලීමි. "නෑ මොකුත් නෑ" මම ද අඳුරට පා තැබීමි. පියගැට පෙළ අවසන් වී නැත, කුළුණක සෙවනැල්ලක් නිසා එය එසේ පෙනෙන්නට ඇත.
                    අප්පච්චිගේ ධෛර්යය අන්තිම බිංදුවට ම වාගේ සිඳී තිබුණේ ය. මගේ රිදුම් දෙන පා තව එකඳු පිය ගැටුමක් වත් එපා කියා ගත නොහැකිව වෙව්ලයි. ඉතින් අප්පච්චී සුපුරුදු පරිදි නැවතත් පෙරමුණ ගත්තේය, "යං මේ වැඩේ හරි යන්නේ නෑ." ඔහු ආපසු හැරී යන්නට වූයේය. 
                    මම කුමක්දෝ පසුබෑමක් නිසා නතර වී මොහොතක් ඔහු දෙස බලා සිටියෙමි, යන්නට පය එසවූයෙමි. එහෙත් ... මට පිය ගැටෙන හඬට ද දිය බිඳු හිස් පලාගන්නා හඬට ද නිහඬතාවයේ චූෂක නාදයට ද අමතර ව තවත් කිසිවක් ඇසුණේ ද? මම විමසිල්ලෙන් කන් යොමු කළෙමි. ඔව්. කිසිවෙකුගේ කටහඬක් ... නැත්තම් එය මා විසින් මවා ගන්නා ලද්දක් ද? 
                   මම සෙමින් පඩිපෙළ ස්පර්ෂ කරමින් ගිය කුළුණු බිත්තිය අසලට ඇවිද ගියෙමි. මෙවර නැවතත් එය පැහැදිලි ව ඇසුණේ ය. අප්පච්චිට කතා කරන්නට සිතුණත් හදිසියේම හිත වෙනස් වූයෙන් මම හඬ නොනැගෙන සේ බිත්තිය අසලට ඇවිද ගියෙමි. එහි සැඟවුණු මුල්ලක අඩි දෙකහමාරක් පමණ උස ඇති කුඩා දොරක් විය. මම හඬ නොනැගෙන සේ එය විවර කළෙමි, මළ කෑ සරණේරු යාන්තම් කෙදිරි ගෑව ද වැඩි කරදරයකින් තොර ව රිංගා යාමට හැකි තරම් ඉඩක් පාදා ගතිමි. සඳ එළිය මගේ රෝස පාට අත් ඔරලෝසුවේ වැදී කල කේඬෑරි පරාවර්තනය භාවිතා කොට මම විවරය පරික්ෂා කොට බැලීමි. ඒ තුළ තවත් කුඩා එහෙත් ඝනකම් ලී දොරටුවක් විය. මම දණ බිම ඔබා ඝර්භාගාරයට රිංගා ගත්තෙමි. කටහඬ දැන් පැහැදිලි ව ඇසේ, මම දොරට කණ තබා ගතිමි.
                   "ළමයි" ප්‍රියමනාප පිරිමි කටහඬක්. "කියන්න, ටජ් මහල හැදුවේ කවුද?" 
                   "සා ජහන් රජතුමා" ළමයි කෑ ගසා කීහ. 
                   "බලන්න ආදරය වෙනුවෙන් මනුස්සයෙකුට කරන්න පුළුවන් දේ." යථොක්ත පිරිමි කටහඬ දැන් හරිම ගාම්භීරයි.
                   "සර්" ළමයෙක් කතා කරයි. ඔහුට ප්‍රශ්නයක් විය යුතුය. "සර් මුම්ටාස් දේවිය ගණිකාවක් වෙන්න ඇති නේද?"
                   "මොකක්?" 
                   "ටජ් මහල හදපු හැමෝම ආදරය වෙනුවෙන් ඒ දේ කළා නම්... කී දාහක් ඒකෙ වැඩ කලා ද නේද සර්? අනිත් කාරණේ තනි අතින් අත්පුඩි ගහන්නත් ...... "
                   "කටවහගන්නවා... හ්ම් ... ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ..." 
                    සැකයක් නෑ. මෙන්න පන්තිය. 
                    මම මොහොතක් කල්පනා කළෙමි. ගුරුතුමාගේ කටහඬ දැන් ළං ළං ව ඇසේ. මම කුරුබිලියෙන් පිටතට රිංගා ආවෙමි, බිත්තියේ හේත්තු වුණු සෙවනැල්ලක් තුළට රිංගා සැඟවුණෙමි. අප්පච්චී ඈත යයි. ගුරුතුමාගේ  සුදුමැළි ගැඩවිල් මුහුණ විවරයෙන් මෑත් ව අඳුර ඉව කරන්නට විය. "ටිකක් ඉන්න ළමයි." ඔහු කීයේය. "මට සද්දයක් ඇහුණා."
                     ඔහු මා නොදුටුවේ ය. මහ හඬින් කිවිසුමක් පිට කළ ඔහු  නැවතත් කුරුබිලියට රිංගා ගත්තේය.
                     "අප්පච්චී" මම කෑ ගසා කීවෙමි."ඔහොම ඉන්න මම එනවා"
                   මම පියගැට පෙළ පහලට දිව ගියෙමි. අපි ගොඩනැගිල්ලෙන් පිටතට පා තබන විටත් පිකටින් කළවුන් කඳුළු පෙරමින් දිව යෑම අරඹා තිබිණි.
                                            ෴ නිමි ෴

No comments:

Post a Comment