Sunday, June 12, 2016

සාංදෘශ්ඨිකවාදය තවත් දෘශ්ටිවාදයක් පමණක් ද ? හෝ ප්‍රතිදෘශ්ටිවාදයක් ද ? ඔබම තීරණය කරන්න ...


සාංදෘශ්ටිකවාදයේ සංකල්ප කිහිපයක් කෙටියෙන්
The Absurd: විශ්වයට නිසඟ අරමුණක්, තේරුමක් තිබේ ද ? හඳ තුළ ලස්සන නම් සාරයක් තිබේ ද ? ලස්සන හඳට දෙන්නේ අප නේද ? වයසට යෑමේ දුකක් බව ශරීරය දන්නවා ද ? එය හුදු යාන්ත්‍රණයක් පමණක් නේ ද ? එම වයසට යෑම දුකක් වන්නේ ශරීරයට නොව අපට නේ ද ?
කොයියෝගේ ඇල්කෙමිස්ට් හි නිමිති මතක ද ? ඇබ්සර්ඩ් විශ්වයට පුද්ගලයෙකුට නිමිති පෙන්වන්නට, පුද්ගලයෙකු තෝරා ගන්නට, ගමනක් රැගෙන යන්නට, දෛවයක් පෙන්වන්නට හැකියාවක් නැත. විශ්වය ඔහේ පවතින්නකි, සිදුවීම් දාමයකි. සිදුවීම් සියල්ල ප්‍රතිඵල දාමයක් මිස ඊට අරමුණක්, විඥාණයක් නැත. දෙවියන් නොපවතින විශ්වයට තේරුමක් ලබා දෙන්නේ මිනිසා මිස විශ්වය මිනිසාට ජීවත් වීමට හැසිරෙන්නට වුවමනා විදිය දිව්‍යමය අරුතකින් ලබා නොදෙයි.
Authenticity: මිනිසාට තම සිතුවිලි පිළිබඳ තීරණ ගැනීමට අයිතිය ඇත.
Existence precedes essence යනු සාංදෘශ්ටිකවාදයේ පදනම් ප්‍රකාශයයි. පරිණාමවාදය, මා දන්නා ආගම් සියල්ල ම, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, මනෝ විද්‍යාව මේ සියල්ල Essence precedes existence ස්ලොගනය යටතේ ක්‍රියාත්මක වෙයි. වේලාපත්කඩේ කෙනෙකුගේ උපතේ දී ඔහුගේ/ඇයගේ ජීවිතයේ සාරය ලියා තැබිය හැක, ඒ සාරයට අනුව මිනිසා ජීවත් වෙයි. පරිණාමවාදයට අනුව ජීව විද්‍යාවට අනුව ඔබට ජානවලින් උරුම වුණු ජීවිතයක් ඇත, ඔබට රූපයක් හැඩයක් හමේ පාටක් හිතන පතන විදියක් උරුම වී ඇත. සාංදෘශ්ටිකවාදය ඒවා එසේ නොවේ යැයි කියන්නේ නැත. ඔවුන් කියන්නේ ඔබට පාලනය කල නොහැකි දේවල් ඇතැයි වටහා ගත හැක, උදාහරණයකට ඔබට ඔබේ අතීතය වෙනස් කරන්නට හැකියාවක් නැත. ඔබ කැරපොත්තන්ට බය වීම ඔබට එක සැනින් නවතන්නට හැකියාවක් නැත. නමුත් ඔබේ අතීතයට අයිතිය ද කැරපොත්තන්ට බය ද යන තේරුම ලබා දෙන්නේ ඔබ ය, ඊට නිරපේක්ෂ තේරුමක් නැත. ඔබ ඔබේ සාරය (essence) ට පෙර ඔබ නැමති සිතන්නාගේ පැවැත්ම ගැන අවධානය යොමුකරන විට එම සාරයන්ට ඔබව පාලනය කරන්නට නොව එම සාරයන් ඔබේ තර්කයට අනුකූලව පාලනය කල හැකි වේ, පාලනය කල නොහැකි දේ 'ඒ මගේ දෛවය' යන සාරයට බාර නොදී හුදු අහඹු තේරුමක් නැති සිදුවීමක් ලෙස ගත හැකි වේ.
Despair: ඔබේ පැවැත්ම (Being) එක නිර්වචනය කරන සාරය බිඳ වැටීම ඔබට තව දුරටත් ජීවත් වීමට හේතුවක් ඇති නොකරයි. මයිකල් ජැක්සන් යන පුද්ගල පැවැත්ම ගායකයෙකු සහ නර්තන ශිල්පියෙකු ලෙස ගනිමු, ඔහුට හදිසියේ ම නැවත ගායනා කල නොහැකි රෝගී තත්ත්වයක් ඇති වුණේ යැයි සිතමු. දැන් ඔහුගේ පැවැත්මේ නිර්වචනය බිඳ වැටි ඇත, මිය ගිය හුදු ශරීරයක් ලෙස තව දුරටත් ජීවත් වන්නේ කෙසේ ද ? ඔහු සමහර විට සියදිවිනසා ගැනීමට උත්සහ කරනු ඇත.
මෙහි සාංදෘශ්ටිකවාදී අර්ථය තව ගැඹුරට යයි, මිනිසා යන සමස්තය ම ගමු. අප පැවැත්ම නීර්ණය කරන අරමුණක් ලබා දෙන විවිධ දෘශ්ටිවාද ඇත, පවුලක් නඩත්තු කිරීම, පොතක් ලිවීම, නිවන් දැකීම මේ ඕනෑ ම එකක් පුද්ගලයෙකු සහ පුද්ගලයාගේ අරමුණ විය හැක. නමුත් ජීවිතයට නිශ්චිත පරම අරමුණක් සහ තේරුමක් නැත, විශ්වයට එහි ස්වභාවටය තේරුම් ලබා දෙන්නේ අප විසිනි. සාංදෘශ්ටිකවාදියා මෙම වටහාගැනීමත් සමග හිස්බවකට පත්වේ.
+++ දැන් උණ්ඩියා, සුජීව, උදිත සහ සුභාග ගෙන එන කතාවට එමු, දෘශ්ටිවාදයෙන් මිදීමක් නැත, සිදුවන්නේ එක් දෘශ්ටිවාදයකින් තව එකකට මාරු විය යුතු යි. ඒ නිසා සාංදෘශ්ටිකවාදය ද තවත් එක් දෘශ්ටිවාදයක් පමණි, සාංදෘශ්ටිකවාදී සිතුවිල්ලක නිමග්න ව සිටීම තවත් දෘශ්ටිවාදයක සිරව සිටීමකි. +++
එහෙත් සාංදෘශ්ටිකවාදයෙන් යෝජනා කරන්නේ දෘශ්ටිවාදයන්ගෙන් මිදී සාංදෘශ්ටිකවාදී ලෙස සිත සිත සිටිය යුතු වෙනම චින්තන ක්‍රමයක් ගැන නොවේ. ඔවුන් පවසන්නේ නිදහස් මිනිසා සියළු සමාජමය අගයන්ගෙන් පිටස්තර වේ, සිතාමතා නොව ඉබේ ම ඔහුට/ඇයට කිසිවක සාරයක් නොපෙනෙන්නට වෙයි. කැමූගේ පිටස්තරයා බලන්න. සියදිවිනසාගැනීම ගැන සාංදෘශ්ටිකවාදයේ මේ තරම් කියවෙන්නේ මෙම දෘශ්ටිවාදයෙන් තොර වීමේ විසංවාදී මොහොත ගැන ය, සුජීව කියනවා හරි, අපට දෘශ්ටිවාදයන්ගෙන් තොරව ජීවත් විය නොහැක, සාංදෘශ්ටිකවාදයෙන් ද කියන්නේ එයයි, දෘශ්ටිවාදයෙන් එහාට යෑම සිය පැවැත්ම උල්ලංඝනය කරගන්නට යෝජනා කරයි, මන්ද දෘශ්ටිවාදයකින් තොර පැවැත්මක් නැති බැවිණි.
නැවතත් මූලික ලිපිය වෙත යන්නේ නම් මා පවසා ඇත්තේ විශ්වයට ද මනුශ්‍යවර්ගයාට ද පරම නිශ්ඨාත්මක අරමුණක් සහ දෛවයක් නැත. විශ්වය කරා පැතිරයාමේ අතිශය ධනාත්මක දෘශ්ටිවාදය මනුශ්‍ය වර්ගයාගේ දෛවය නොවේ, මන්ද විශ්වයට සහ මනුශ්‍යවර්ගයාට දෛවයක් නැති බැවිණි. මනුශ්‍යවර්ගයාගේ දියුණුව මනුශ්‍යවර්ගයාගේ තෝරාගැනීමක් මිස විය යුතු විදිය නොවේ. නැවතත් සඳහන් කරන්නේ නම් මනුශ්‍යවර්ගයාගේ දියුණුව මනුශ්‍යවර්ගයාගේ 'තෝරාගැනීමක්' මිස 'විය යුතු විදිය' නොවේ. මෙම 'තෝරාගැනීම' විශ්ව නියමයක් හෝ නොව දිව්‍යමය වදනක් හෝ නොව මනුශ්‍යයා මනුශ්‍යවර්ගයාට 'ලබා දෙන තේරුමක්' පමණක් වෙයි, එනම් මනුශ්‍යවර්ගයා දියුණු විය යුතු ය යන සම්මතය පමණි, එහි කිසිදු සාරයක් නැත.

1 comment:

  1. Nihilisam සහ සාංදෘශිටිකවාදය අතර ඔබ දකින වෙනස මොකද්ද? මේ දෙකෙන්ම කියවෙන්නේ ජීවිතේ සාරයක් නෑ කියන එක නේද?

    ReplyDelete