ක්ලික් ... දොර විවර විය. ආලෝක කදම්භ යුද්ධය සීලීමේ ඇති විදුලි පංකාව බවට පත් විය. එය වේගයෙන් කැරකෙයි. අළු පැහැති දුහුවිල්ලෙන් සහ මකුළු දැලෙන් වැසුණ ද එහි සුදු පැහැ තටු අඳුරට තදින් සූරා කපා දැමීය, ක්ෂණිකව.
දැන් මගේ වැඩි කොටස ඇත්තේ සිහිනයේ නොව සැබෑවේ ය. දොරට යතුරු ලන හඬ ... ඉනික්බිතිව යෝධ කළු පාට ඡායාවක් මාත් මගේ ආලෝක යුද්ධයත් අතරට ආවේ ය. එය කෙමෙන් කෙමෙන් උත්තුංග ලීලාවෙන් අහසට නැගේ. මා වෙත නැඹුරු වෙයි.
බෑ බෑ ... මම හීනයේ ම එල්ලී සිටියෙමි. මම එය විඳිමින් සිටියෙමි, නැගිට ගැනීමට කිසිම වුවමනාවක් මට නොවීය. ඒත් කළු යෝධයා මගේ අතින් අදිමින් සිටියේ ය. මම දැඩිව කොට්ටය හෝ සිහිනය බදාගෙන විරෝධතාවය ප්‍රකාශ කළෙමි. බෑ .....
එහෙත් ඊළඟ මොහොතේ මම ඇඳ ඇතිලිල්ල සහ පොරෝණය පපුවට තුරුළු කරගෙන අසරණව ඇඳ දෙස බලාගෙන සිටියෙමි.
'මගේ ඇඳ' ත්‍රී වීල් රියදුරා කීයේ ය. එසැනින් ඇඳට වැටුණු ඔහු දිගු සුසුමක් හෙළා ගොරවන්නට වූයේය.
මම ඔහුගේ ගෙරවිල්ල දෙස ද අසරණව බලා සිටියෙමි. බෝඩිමේ ඇති සැප ම ඇඳ එය විය, මෙට්ටය කොහු එකක් නොවී ය, තද ඇනෙන එකක් නොවී ය.
හ්ම් ... මම ඇඳෙන් හිත ද ඇස් ද ඉවත් කළෙමි. පාළුවට ගිය අළු පැහැ බෝඩිම අතිශය බරපතල එකක් ලෙස පෙනෙයි. හැම ඇඳකම සිටින වුන් ගොරවන්නේ ද ගැඹුරින් හුස්ම ගන්නේ ද හීන දකින්නේ ද පැත්තෙන් පැත්තට පෙරළෙන්නේ ද එය ලෝකයේ ඇති වැදගත් ම රාජකාරිය ලෙස සලකා ය. මා කාලකණ්නියෙකු ලෙස පෙනිය යුතු නැත. මා ද නිදාගත යුතු ය.
මම ඇඳ ඇතිරිල්ල ද පොරෝණය ද තුරුළු කරගෙන තට්ටු ඇඳේ යට ඇඳට පා තබා උඩ ඇති මගේ ඇඳට එබී බැලුවෙමි. එහි එකෙක් නිදි. කවදාවත් දැකපු නැති එකෙක් නිදි. ඔහුව ඇහැරවන්නට නොහැක, ඔහු එතරම් බරපතල නින්දක ය.
මම ඇඳෙන් බැස කුමන හෝ ඇඳක ඉඩක් ඇත්දැයි සොයා බැලීමට ෆ්ලොරසන්ට් බල්බයේ මන්දාලෝකයේ පිහිටෙන් ඇඳවල් උඩ ඇති රෙදි පොට්ටනි එහෙ මෙහෙ කරමින් ඒවාට තට්ටු කරමින් කැරකුණෙමි. ඒවා හැම එකකම මනුස්ස ප්‍රාණියෙකු නිදි ය. මම අන්තිමට මගේ ඇඳ ඇතිරිල්ල ද පොරෝණය ද මුල්ලකට දමා බෝඩිමේ දොර ළඟ බිත්තියට පිට දී හිඳ ගතිමි.
බෝඩිමේ දොර කොහේ හෝ කඩයකින් ගලවා ඉවත් කල දොරකි. ලී රාමුවට වීදුරුවක් ඔබ්බවා එය තනා ඇති අතර බෝඩිමෙ උන් එහි වීදුරුව මත පත්තර කෑලි ස්ටිකර් සහ බුද්ධ රූප අලවා ඇතුළ පිටතට නොපෙනෙන ලෙස සකස් කරගෙන ඇත. එය කරන්නට ඇත්තේ අපට බොහෝ කලින් නවාතැන් ගෙන සිටියවුන් විය යුතු ය. කහ ගැහුණු එක් පත්තර පිටුවක කොළඹ මීටර් ටැක්සි සේවාවක් ආරම්භ කළ බවට ප්‍රවෘත්තියක් විය, මම මොහොතක් කල්පනා කලෙමි, මගේ නින්ද කඩා ඇඳ උදුරාගත් එකාගේ ත්‍රී රෝද රථය ද මීටර් ටැක්සියකි, දැන් නගරයේ දුවන්නේ මීටර් ටැක්සිය, බෝඩින්කාරයෝ දොර පුරා කඩදාසි අලවා ඇත්තේ බොහෝ කාලයකට පෙර විය යුතු ය.
ආලෝකය සිදුරු තුළින් ගැලුවාට අඳුර සිදුරු තුළින් ගලන්නේ නැත. මම මට පැහැදිලි කර දුන්නේ මා දොර යටින් සහ කඩදාසි පැළුම් අතරින් පිටත අඳුරේ රැස් කාමරය ඇතුලට ගලනවා දැයි බලන්නට වූ බැවිණි. අහා නව වටහාගැනීම තුළ මම මොහොතක් නතර වී කල්පනා කලෙමි. සමහර විට බෝඩිමේ අළු පැහැති ආලෝකය දොරේ පාරදෘශ්‍ය සිදුරුවලින් පෙරී මිදුලේ බොරළු වැල්ල මත ඉරි සහ ලප ඇඳ ඇතුවා ට සැක නැත. මට දොර අරින්නට වුවමනා විය. එහෙත් දොර අරින විට අර ඉරි සහ ලප රටාව ඉවත් වී දොරේ හතරැස් ආලෝක කොටුව බිම වැතිරෙනු ඇත. මට එය දකින්නට වුවමනා නැත. රටාව දකින්නට නම් මා පිටතට ගොස් දොර නැවත වැසිය යුතු ය. ඒත් මට පිටතට ගොස් දොර වසන්නට ද වුවමනා නොවීය, ඇරත් මට මගේ ඩෙනිම සොයා ගොස් මගේ සාක්කු අතගා දොරේ යතුර සොයාගන්න කම්මැලි ය. මම ඉරි සහ ලප රටාව අමතක කළෙමි.
හ්ම් ... මම නිදාගැනීමට උත්සහ කළෙමි. ඇස් වසාගෙන කන් වසාගත නොහැකි බැවින් නින්ද යන තෙක් වට පිටාවේ හඬ නළුවට කන් දී සිටියෙමි. මුලින් ම මට ඇසුණේ විදුලි පංකාවේ තටු වාත කඳ බලෙන් තල්ලු කරන ඒකාකාර හ්ම් හඬයි. ඊළඟට එකිනෙකා ගොරවන්නට වෙයි. කැරපොත්තන් මීයන් පරාල හූරාගෙන දුවන හඬ විටෙන් විට ඇසේ. අන්තිමට ම හඳුනා ගත හැකි වූයේ වතුර කරාමයෙන් වතුර බිංදුවක් දෙකක් එකවර වැටී බොහෝ වේලාවකට නිහඬ වන අන්දම ය. මම බොහෝ වේලා කන් දෙමින් සිටියෙමි. සියල්ල ම ඒකාකාරී ය රටාවක් නැතුවා සේ ය, කොයිතරම් ශබ්ද තිබුණ ද මගේ කන්දෙකට මහා සීතලක් දැණුනු නිහඬතාවයකි එය.
හදිසියේ ම මම මහා ඔක්සිජන් ස්කන්ධයක් ගිල ගතිමි. නිහඬතාවය තුළ ගැඹුරට නිමග්න වෙමින් එහි හඬ අල්වන්නට ගිය මම මගේ හුස්ම මොහොතකට අමතක කර ඇත. තව පොඩ්ඩෙන් මගේ හුස්ම හිරවන්නට නියමිතව තිබිණි. මගේ නින්දට ඇති අසාව අතහැර මම ධාවන තරඟයකට පසු අශ්වයෙකු මෙන් හැල්මේ හුස්ම ගතිමි.
'මේ මම එළියට එන්න ද?' මට හොඳටම විශ්වාසය, එය ගැහැණු කටහඬකි සහ එය කතා කළේ මට ය. මම වටපිට බැළුවෙමි. බෝඩිමේ දකින්නට ඇති එක ම දේ නින්ද පමණය. කතා කරන ගැහැණු කටහඬක් ?? මම නැගිට දොරේ කඩදාසි දෙකක් අතර ඇති ලොකු ම විවරය සොයාගෙන පිටතට එබී බැලුවෙමි. කිසිවක් නොපෙනෙන්නට තරම් විවරය කුඩා නොවූව ද ඝන අඳුර මැද කිසිවක් නොපෙනෙයි.
'ඔහෙ නෙවෙයි මෙහෙ' මම වහා හැරී බැළුවෙමි, බෝඩිම ඇතුළට නිවැරදි ව කිවහොත් නම නොදන්නා වැඩිපුර කතා නොකරන දරුණු 'ත්‍රස්තවාදියා' යන අනවර්ථ නාමයෙන් හඳුන්වන බෝඩින්කාරයාගේ ඇඳ දෙසට, ඇඳ ළඟ ඇති ඔහුගේ පොල් ගෝනිය දෙසට.
රතු පාටින් 'ශ්‍රී ලාල් සීනි' යනුවෙන් පින්තාරු කල ඒ සුදු පැහැ ප්ලාස්ටික් ගෝනිය මා ආ දා සිට ම ත්‍රස්තවාදියාගේ තට්ටු ඇඳ අසල මුල්ලේ තබා තිබුණි. එහි කට බැඳ නැති අතර එහි ලෙලි නොගැසූ පොල් ගෙඩි හතරක් උඩින් බැලූ විට දැක ගත හැකි වෙයි. ඊට යටින් ඇත්තේ ද පොල් විය යුතු ය, පිටතින් බැලූ විට පෙනෙන හැඩයෙන් එය එසේ කිව හැකිය, නමුත් අපි කිසිදාක පොල් ගෝනිය අවුස්සන්නට ද ඒ ගැන ත්‍රස්තවාදියාගෙන් විමසන්නට ද නොගියෙමු, අපට ඒ ගැන කිසි වුවමනාවක් නොවීය, පොල් මල්ල කිසිවෙකුගේ අතකින් අතවරයකට ලක් නොවී දුහුවිලි පොදක්වත් නොගැටී අළුත් පිට තිබුණේ ය. ගැහැණු කටහඬ ඇසුණේ ඒ දෙසිනි, එපමණක් නොව ගෝනියේ කටින් ඉලිප්පී තිබුණු පොල් ගෙඩි හතරේ මැද පොල් ගෙඩිය සෙලවෙන්නට ද විය.
'මේ මම. මෙහේ.' මැද පොල් ගෙඩිය කතා කළේ ය.
ඉංග්‍රීසියෙන් කුණුහරපයක් කියාගෙන මම නැගිට ගතිමි.
'මම එළියට එන්න ද?' පොල් ගෙඩිය නැවත කතා කරයි.
බෝඩිමේ කිසිවෙකු හෝ ඇහැරී සිටියේ නම් මා ඒ වෙලේ පොල් ගෝනිය දෙසට ඇදුණේ වෙඩි කෑ වල් ඌරෙක් සැඟවී සිටින පඳුරක් දෙසට තුවක්කුව මානාගෙන පරිස්සමෙන් ඇදෙන දඩයක්කාරයෙකු ලෙසින් යැයි කියන්නට ඉඩ තිබිණි. තුවක්කුව යකඩින් කල කාණු දෙකේ පුරුදුකාරයෙකි, මීමින්නන් පමණක් නොව අප්‍රිකානු ඇතුන් පමණක් නොව උත්තරධ්‍රැවයේ වොලරස්ලාද ඉන් දඩයම් කර ඇත. එහෙත් ගෝනියට ලං වත් ම තුවක්කු බටය සිහි විසඥ වී ප්‍රාණය නිරුද්ධව අලි හොඬයක් මෙන් කඩා වැටී වැනෙන්නට විය.
'උඹ ගෑණියෙක්නේ' මම බෙරිහන් දුන්නෙමි.
'ඔව් ඉතින්' පොල් ගෙඩිය පිළිතුරු දුන්නේ ය. 'මේ මම එළියට ආවට කමක් නැද්ද? කට්ටිය නිදි ද?'
'උන් නිදි' මට කියැවිණි. මම අනායාසයෙන් ම ඇයට උදව් කරන්නට ඉදිරිපත් වුණෙමි. ජීවිතේ පළමු වතාවට ත්‍රස්තවාදියාගේ පොල් ගෝනියට අත තැබීමි. පොල්ගෙඩි දෙක තුනක් ඉවත් කළ පසු මට ඇගේ උරහිස පාදා ගත හැකි විය. තවත් පොල් ගෙඩි දෙකක් ඉවත් කළ පසු ඈ ඇගේ දකුණු අත නිදහස් කරගෙන මගේ උරහිසේ එල්ලී පොල් ගෝනිය පෙරළාගෙන පිටතට පැන්නා ය.
ඇය මගේ උස සසඳන්නට මෙන් මගේ මුහුණ ළඟට ම විත් කකුලේ ඇඟිලිවලින් උඩ පැන නතර වූවා ය. 'හරි දැන් අපි මොකද කරන්නේ?' වැනි උද්‍යෝගී ප්‍රශ්නයකි ඇගේ සියළු විකාරවල තිබුණේ.
මා ද මගේ දික් වුණු ඇද වුණු මුහුණින් ඒ ප්‍රශ්නය ම නගන්නට ඇත. 'අපි ඉඳගමු' මම අන්තිමට කීවෙමි.
'කොතන ද?' ඈ නැවතවතාවක් උඩ පැන්නා ය.
'දොර ළඟ' මම දොර ළඟට ගොස් ඇයට බිත්තියට පිට දී හිඳ ගන්නට ඉඩ දෙමින් ඊට ප්‍රතිවිරුද්ධ පස රෙදි මදින ලෑල්ලට පිට දී හිඳ ගතිමි. ඇය අමුත්තා වූ බැවින් ඇයට වඩා සුව පහසු ස්ථානය දිය යුතු යැයි මම සිතමින් සිටියෙමි. බෝඩිමේ කවුරුත් අමුත්තෝ නොවෙති, ජීවිතේට දැක නැති සමහරු එක්තරා උදයන්හි ඇඳෙන් බැස යනු මා දැක ඇත. අද රෙදි බෑග සහ මදුරු දැල් කර තබාගෙන නව ජීවිතයක් අරඹන්නට මෙන් බෝඩිමට එන උන් ඊට පසු දවසම සියල්ල අකුලාගෙන යනු මා දැක ඇත. බෝඩිම යන්නට නිර්වචනය නතර වන තැනක් ලෙස නොව නිතර යන එන ප්‍රසිද්ධ ස්ථානයක් බවට වෙනස් විය යුතු ය. එහෙත් මට ඇය අමුත්තෙකුයැයි හැඟෙන්නේ ඇයි? සමහර විය යන එන වුන්ගේ හෙවත් බෝඩිංකාරයින්ගෙ නම් ගම් නිතර වෙනස් වුව ද උන්ගේ ලිංගය වෙනස් වෙන්නේ නැත. උන් සියල්ල ම පිරිමි ය. අමුත්තෙකු වීමට නම් ඒ ගැහැණියක විය යුතු ය.
ඈ බිත්තියට පිට දී රූටා විත් බිම හිඳ ගනිත් ම මම වරදකාරී හැඟීම පසෙක ලා ඇගේ කකුල් දෙස බැලුවෙමි. හිතට කරදරයක් ඇති කරගත යුතු නැත, ඈ එල්ලා වැටෙන අළු පැහැ පරණ දිග කලිසමක් ඇඳගෙන සිටියා ය. ඇගේ ටී ෂර්ට් එක ද පරණ ය, මලකඩ පැහැ සුදු පැහැති එකක් වූ එහි නිල් පාට මල් තැනින් තැන වැඩි වුවමනාවක් නැතිව සිත්තම් කර තිබිණි. එහි පාට සේදී පිලිස්සී ගොස් ඝනකම් කබායක් වාගේ යමකි ඉතිරිව තිබුණේ.
ඈ මා දෙස බලාගෙන සිටියා ය.
'මේක වැඩිය පරණ නෑ' ඈ ටී ෂර්ට් එක අතින් අදිමින් කීවා ය. 'මම මේක හෝදන්නෙ නෑ.'
සේදීමට වුවමනා නැත, ඇය නැවුම් වූවා ය, ඇය පොල් මල්ලේ සැඟවී සිටියේ කෙසේ ද? ඇගේ නැවුම්බව සඟවා නොගෙන ?? මම එය විමසා සිටියෙමි.
'කවදද පොල් මල්ලට රිංගුවේ?' මා ඇසුවේ වෙන ප්‍රශ්නයකි.
'කවදාවත් නෑ' ඈ විමතිය සඟවාගන්නට තරම්වත් උත්සහ ගන්නට අමතක වී කීවා ය.'මං ඕකෙ තමා හිටියෙ.'
'ඉතින් අපි දැක්කෙ නෑනෙ' මම ඇයටත් වඩා විපිලිසර වෙමින් සිටියෙමි.
'මොනවා දකින්න ද? උඹල එකෙක්වත් බැලුවෙ නෑනෙ' ඈ සැනෙන් කීවා ය. ඈ ඉන් කියන්නේ අප ඈ දෙස බැලිය යුතුව තිබුණ බවයි. ඒත් අපි ඇයි ඈ නොදුටුවේ ??
මම නහය ඔළුව ඇතුළට ගෙන ඔහේ බලාගෙන සිටියෙමි. මා ඈ කිසිදිනෙක නොදුටු බව මගේ නහය දිව්රා කීයේ ය.
'හරි හරි දැන් නහය එළියට ගන්න' අන්තිමට ඈ කීවා ය. 'ඔහොම නහය ගුලි කර ගත්තම හරි විකාරයි'
සීතල නිසා විය හැක, මම අත් පොරවා ගතිමි. 'මගේ ඇඳ කවුදෝ අරගෙන' මම මුහුණ එල්ලාගෙන කීවෙමි.
'අහ් මට ඇහුණා' ඈ කීවා ය. 'පොල් මල්ල ඇතුළෙ ඉන්නකොට'
'මොනව ද?'
'ඔයාලගෙ බෝඩිමේ ඉන්න බැංකුවක වැඩ කරන ලොකු කන් තියෙන කොල්ලා' ඈ නිකට උල් කොට බෝඩිමේ අග්ගිස්සේ ඇති ඇඳක් සන් කලා ය. 'එයාගෙ යාළුවො ටිකක් චෙස් ටූනමන්ට් එකකට කොළඹ ඇවිත්. ඒ අය තමා ඇවිත් ඉන්නේ.'
'ඉතින් ටූනමන්ට් එක දිනල ද?' මම වහා විමසුවෙමි.
'ඔව්. බොහොම අමාරුවෙන් දිනල තියෙන්නේ." ඇයත් කකුල් දෙක අතර ඔළුව හිර කරගන්න තරම් වුවමනාවකින් ගුලි වූවා ය. සීතලයි.
නිහඬතාවය කළු පාට දුමාරයක් ව අප අතරින් පාව ගියේ ය. එය ගලාගෙන ආවේ අප අතර ගොඩ ගැහී තිබුණු කළු පාට ඝන කාබන්ඩයොක්සයිඩ් කුට්ටි වලිනි. ශීතල දුමාරය වේදනාවෙන් අයිස් කැට අතහැර හඬ හඬා හැරි හැරී බලමින් වංගු ගොඩක් ඇති අදිසි පාරක හෙමීට ඇදී ගියේ තාපගතිකයේ නියමයන්ගෙන් බේරී ගත නොහැකිව ය. කළු දුමාරය දොර ළඟ ව්‍යාකූල වෙමින් ඒ මේ අත පැතිර ගියේ දොරේ යටින් වූ පැතලි විවරය එතරම් විශාල එකක් නොවූ නිසා විය හැක. එහෙත් සෙමෙන් සෙමෙන් දුමාරය රෑ අඳුර කරා බැස ගියේ ය. මට නැවත වතාවක් ඇය පෙනෙන්නට වෙයි.
"අපි දොර අරිමු" මම කීයෙමි.
"හා" ඈ රොකට්ටුවක් මෙන් උඩ පැන නැගිට්ටාය. මම ද රොකට්ටුවේ ගැට ගැසූ කොඩියක් මෙන් ඉස්සී ඈ වාගේ ම උඩ පනින්නට වුණෙමි. "හා"
"හා කියන්නේ. ඔයා දොර අරින්න. මගෙ ළඟ යතුරක් නෑනේ"
මා හේතුවක් නැතිවම රතු වන්නට ඇත. "පොඩ්ඩක් ඉන්න" මම මගේ පැහැරගත් ඇඳ අසලට ගොස් ඇඳේ අයිනක එල්ලා තිබූ ඩෙනිමේ සාක්කුවෙන් යතුර ගතිමි. එහි කට්ට සෑහෙන්න ගෙවී තිබුණේ ය. එක උත්සහයකින් දොර ඇරීමට නම් දැඩි ධෛර්යයක් සහ විනයක් අවශ්‍ය ය.
'ටකස්' දොර ඇරුණේ ය. මට හිතුණේ මා දොරට අත තබන්නටත් පෙර දොර විවර වූ බව ය. "හරි" මම පපුව පුම්බාගෙන කීවෙමි.
ඊළඟට ඉතිරි වූයේ දොර ඇරෙන මොහොතයි. බිම වැලිකැට අතගාමින් දොර පළුව විවර වත් ම අඳුර සුළං රැල්ලක්ව බෝඩිම තුළට රිංගා ගත්තේ ය. එය දඟකරමින් මුදුව ආලෝකමත් වුණු අහුමුළු තුළට රිංගා යමින් සීතල ස්පර්ශයක් සමඟ දෑස් වසා දමමින් මෙඩූසාගේ සර්ප ප්‍රාශ්වාසය මෙන් කාමරය තුළට බඩ ගා ගියේ ය. ෆ්ලොරසන්ට් බල්බ ගොරොද්දය නගා හීතල දරා ගත නොහැකිව වරක් දෙවරක් වෙව්ලා මියැදී බිම වැටුණහ. සලාං ... එකක් නිල් පාට ආලෝක පතුරු ගොන්නක් විසිරුවමින් බිඳී ගියේ ය. තව එකක් .. තවත් එකක් ...
ඉනික්බිතිව සියල්ල නිහඬ වී ගියේ ය.
සියල්ල අඳුරු වූ පසු ස්පර්ශය දකින්නට පටන්ගනියි. මගේ ස්පර්ශය ද දකින්නට පටන්ගෙන ඇත. මම සීතලට අඳුර දකිමින් සිටියෙමි. මගේ තොල් තද රතු පාටට කෙතරම් දෘඩතර තාපයකට මුහුණ දී සිටියේ ද යත් මගේ තොල්වටා හිම බැඳෙන්නට ද කට දෙපැත්තෙන් හිම කුළුණු වැගිරී බිම කරා යන්නට ද වූයේ ඇගේ තොල් සහ මගේ තොල් වෙන් කරන්නට අයිස් කඩන කූරක් ගෙන ආ යුතු විය.
ඈ මා සිප ගනිමින් සිටියා ය. කිසිවක් සිදු නොවුණු මොහොතකි එය, අඩුම තරමේ ඈ අමාරුවෙන් හැකි තරම් දුරට අත දිගු කර බිත්තියෙ වූ ස්විචය ඔබා ෆ්ලොරසන්ට් පහන් දල්වා ආලෝකය ද කාලය ද නැවත ගෙන ආවේ නැත්නම් ඒ මොහොත කාලයේ සහ අවකාශයේ අවසාන මොහොත වන්නට ඉඩ තිබිණි.
කතන්දරයේ ඒ පිටුව අවසානය. ඔබ තේ උගුරක් බී හෝ සිගරට්ටුවක් උරා ඊලඟ පිටුව පෙරළයි.
"අපි කමු" දොරට යතුරුලමින් මම කීවෙමි.
"හා" ඇය නැවත උඩ පැන්නා ය. "අපි මොනව ද කන්නේ"
"පාන් තියෙනවා" මම ඇගේ අතින් ඇදගෙන බෝඩිමේ ඇඳන් අස්සෙන් බෝල කූඩු අස්සෙන් මකළු දැල් රැහැන් යටින් රෙදි වැල් යටින් දිව යමින් කීවෙමි.
"මං පාන් කපන්නම්" ඈ නිදාසිටියෙකුගේ දණිස්සට අත තබා උඩින් පැන්නා ය. "අපි පාන් කමු"
"අර්තාපල් ගෙඩියක් තිබුණා ඉතුරුවෙලා" මම ඩෙනිම් කකුල් දෙකක් මැදින් ඈත් ඇදගෙන රිංගාගෙන ගියෙමි. "අපි ඒක තම්බමු. මම හීටරේ ගහන්නම්"
අපි ඉක්මනින් ම තට්ටු ඇඳන් ගහණය අඩු වූ එළි පෙහෙලි වූ භූමි භාගයකට පැමිණියෙමු. මම ඇයට පාන් කපන්නට ඉඩ දී වතුර ගෙනෙන්නට ගියෙමි. උස තට්ටු ඇඳන් කිහිපයක් අස්සෙන් අමාරුවෙන් රිංඟා සරමක සහ රෙදි වැලක ආධාරයෙන් පහතට බැස ගත් මම සැඟවී තිබූ පැරණි කරාමයක් ඇර මුට්ටියට වතුර පුරවා ගතිමි. එය බොහොම බරයි. මම අමාරුවෙන් එය ඉහිරෙන්නේ නැතිවෙන්න පරිස්සමින් කරගසාගෙන නැවත තට්ටු ඇඳවල් දිගේ නැග්ගෙමි. කිහිපවරක් නතර වෙමින් විවේක ගනිමින් ඉහලට නැගගත් මම ඈ අසලට එන විට පාන් පෙති ලස්සනට කැපී අවසන් වී තිබිණි. ඇගේ මුහුණ තෘප්තිමත් ආඩම්බර හිනාවකින් පිරි තිබිණි.
"මං අලත් සුද්ද කලා" ඈ කීවා ය.
වැඩිත් නැතිව අඩුත් නැතිව සීරුවට පොත්ත පමණක් සූරා ඉවත් කල අල ගෙඩිය ඉක්මනින් තැම්බුණේ ය. ඈ හරියට ම මැදින් අල ගෙඩිය දෙකට කැපුවා ය. අපි මේසය දෙපසට වී ලස්සනට ඉඳගෙන කකුල් පද්දමින් කන්නට පටන් ගතිමු. ඇගේ පිඟාන නිල් පාට මල් තියෙන පෝසිලේන් එකකි, මගේ පිඟාන මල් වැලක් ඔබ්බවා තිබුනු ඇළුමිණියම් පිඟානකි, පාන් පෙති ලස්සනට ලෑල්ල මත අඩුක් කර තිබිණි, අප දෙදෙනාට ම තිබුණේ එක ම ජාතියේ මිටි පෝසිලේන් කෝප්ප දෙකකි.
"හොඳට කමු" මම කීවෙමි. "උදේ වෙන්න පැය තුනකට වඩා නෑ"
"මෙහ්" ඈ පාන් වාටියක් කටින් කඩමින් කීවා ය. "හෙට උදේ ඉර පායයි නේ?"
"ඔව්" මම හිතෙන් ගණන් හදමින් පිළිතුරු දුන්නෙමි. "හැමදේම විනාස වෙන්න කලින් ඉර තව එක පාරක් පායයි කන්ද උඩින්"
ඈ පුටුවේ ඉඳගෙන ම කිහිපවරක් උඩ පැන්නා ය. "අපි ඉර බලන්න යමු ... ?"
"හා" මා ද එක පයින් එකඟ ය.
"දැන් ඉරට ගොඩක් වයස ද?" ඈ ඇසුවා ය. ඇගේ අල කැබැල්ලෙන් තවත් අඩකටත් වඩා ඉතිරි ය. මමත් ඒ ගණනට අල කැබැල්ල ඉතිරි කර ගනිමින් සිටියෙමි.
"තාම පොඩියි" මම කීවෙමි. "තාම හයිඩ්‍රිජන් ගොඩක් තියෙනවා. හීලියම් පොඩ්ඩක් තියෙනවා. සුදු පාට පොඩි තරුවක් ඒක"
"ඉර පායන්න තව කොච්චර වෙලා යයි ද?" ඈ නොයිවසිල්ලෙන් ඇසුවා ය. "මට බලන්න ආසයි"
"තව අවුරුදු බිලියන පහක්" මම දළ වශයෙන් ඇස්තමේන්තු කලෙමි. "ඔව් හෙට උදේ වෙද්දි බලා ගන්න පුළුවන්"
"ඉර අල්ලන්න පුළුවන් තරමට ලං වෙනව නේද?" ඈ පාන් කැබැල්ල ද අතින් ගෙන නිදහස් අවකාශය අතගෑවාය. "මට අල්ලන්න ඕන"
"හයිඩ්‍රිජන් ඉවර උනා ම හීලියම් ඉවර උනා ම කාබන් ඔක්සිජන් පහුකරගෙන යකඩවලට එනකොට ඉරට උනත් බර වැඩියි. ඉර ලොකු වෙනවා පොළව ළගට ම" මා ද පාන් කෑල්ලක් ගෙන ඇගේ අත අනුකරණය කලෙමි.
අපේ අත් ගැටෙන්නට වගේ ආවේ ය. කොහෙන්දෝ එලාමයක් නාද විය. ඈ අත ගත්තාය.
"එළිවෙන්න තව පැයයි" ඈ වේගයෙන් කන්නට වූවා ය. "කන්න කන්න ඉක්මනට. අපිට ඉර බලාගන්න බැරි වෙයි."
අප තරඟයට මෙන් අර්තාපල් අල බාගයේ ඉතිරි වුණු කාල කන ගමන් ඔබට මේ පිටුවත් පෙරළිය හැක. සිගරට්ටුවක් උරා තේ උගුරක් බී එන්න. සමහර දේවල්වලට මුහුණ දෙන්නට පෙර ඔබ මොහොතක් ඔබ සමග නතර විය යුතු ය.
මම ප්ලේන්ටියක් වත්කලෙමි. ඇය සීනි දැම්මා ය. "සීනි ටිකයි හරි ද" ඈ මට වැඩිපුර සීනි ගැනීමට ඉඩ නුදුන්නා ය.
අපි මේසය මත හිඳ ගතිමු. උදෑසන හීතලට දුම් දමන ප්ලේන්ටිය කදිමට ගැලපුණේ ය.
අන්තිම සිගරට් එක. මම සාක්කුවෙන් අන්තිම සිගරට් එක ද ඇද ගත්තෙමි. එය මදක් තැලී තිබිණි, මම පරිස්සමින් එහි ඇද ඇර පත්තු කර ගතිමි. දැන් ලයිටරයෙන් වැඩක් නැත. මම එය මුල්ලකට වීසි කලෙමි. පළමුවෙනි දුම් උගුර අවකාශයේ කෘශව යමින් අතුරුදන් වූ පසු ය ඈ මා දෙස බලා සිටින බව මම දැනගත්තේ.
"සිගරට් බොනව නේද" ඈ කීවා ය.
"හ්ම්" මම හිස වැනුවෙමි. "බොනව ද?" මම සිගරට්ටුව ඈ දෙසට දිගු කළෙමි.
ඈ හිස සැලුවා ය. "එපා. මං සිගරට් බොන්නෙ නෑ"
"අද අන්තිම දවසනේ" මම යාන්තමට විරෝධය පළ කළෙමි.
"ඒත් එපා." ඈ කීවා ය. "විකෘති ළමයෙක් හම්බුණොත්?"
"ඒත් අද අන්තිම දවසනේ" මම තදින් විරෝධය පළ කළෙමි.
"එපා" ඈ මෘදු ම මෘදුවට කීවා ය.
ඉතින් අපි මේසය උඩ ඉඳගෙන කකුල් පද්ද පද්ද ප්ලේන්ට් බීවෙමු. එය අවසානයේ දී මේසයෙන් බැසගත් ඇය පිඟන් සෝදා පිළිවලට මේසය මත අඩුක් කලා ය. පිහිය සෝදා එල්ලුවා ය. පාන් ලෑල්ල බිත්තියට හේත්තු කොට තැබුවා ය.
"යං" අන්තිමට ඈ කීවා ය. "ඉර පායන්න ළඟයි"
සිගරට්ටුව ෆිල්ටරය ළඟට ම පිළිස්සී අවසන් ය. එහි ඉතිරි වූ යමක් වෙද අවසාන ම අවසාන උගුරෙන් එය ද උරා ගත් මම ෆිල්ටරය මුල්ලකට වීසි කළෙමි.
"යං" මම මේසයෙන් බිමට පැන ගත්තෙමි. පපුවේ දුං ටික අහසට පළා ගියේ ය.
මම ඩෙනිම ඇඳ ගත්තෙමි. යතුර එහි සාක්කුවේ ය. මම දොර විවර කිරීමේ අවස්තාව ඇයට ලබා දුනිමි. ඈ සතුටින් උඩ පනිමින් දොර විවර කලා ය.
අරුණැල්ලේ පළමු රැල්ල අප පසු කරගෙන බෝඩිම ඇතුලට ගසාගෙන ගිය අතර දොරෙන් විවර වූ ලෝකය අතිශය සුන්දර විය. පෙරදිග අහස පාට පාට ගැහෙමින් ඉර උදාවට පසුබිම සකසමින් සිටියේ ය. සුළං රැළි සීතලයි. ඇගේ මුහුණ සීතලෙන් හිනස්සන තරම සීතලයි. ඈ මගේ අතින් අල්ලාගෙන පොඩ්ඩක් සීතලට අත් පොරවාන මගේ මුහුණ බැලුවා ය. එහි දඟකාර නෙරවිල්ලක් තිබිණි. "යං ඉතින්"
මම දොර අඩවන් කර ඈ සමග මගට බැස්සෙමි. චරස් චරස් ගා බොරළු තලමින් අත් අල්ලාගෙන අපි ගමන ඇරඹුවෙමු. ගේට්ටුව වසන්නට පෙර මොහොතක් බෝඩිම දෙස හැරී බැලූ අපි බරපතල ලෙස නිදාසිටින උන්ට එසේ ම නිදාගෙන සිටින්නට ඉඩ දී නැගෙනහිර කඳු පන්තිය දෙසට ඇවිද ගියෙමු.
"මහන්සිනම් කියන්න" මා ගමන ආරම්බයේ දී ම කීයෙන් ඈ මොහොතක් සිනාසුනාය. "ඔයත් කියන්න"
කුඩා ළඳු කැලෑ දෙකක් මැදින් තැනිතලාව ඈතට විහිදුණේ ය. එහි පොළව බොරළු කැට, සුදු පැහැ ලුණු ස්ඵටික සහ අළු පැහැ මිටි පඳුරු ගොමු වලින් වැසී තිබිණි. අපි ඉඳ හිට සෙල්ලමට ලුණු කැට උඩට පැන ඒවා කුඩු කලෙමු. පඳුරු ගොමු උඩට ලුණු කැට අහුරු ඉස ඒවා තවත් අළු පැහැ ගැන්වීමු. වැඩිවෙලා යන්නට මත්තෙන් හිම කැටි පරිද්දෙන් ඇගේ ද මගේ ද ඇහි බැම සහ කොණ්ඩය ලුණු පියළිවලින් අළු පැහැ ගැන්වී තිබිණි.
"මහන්සි ද?" මම ඇසුවෙමි.
"ඔව්" ඈ උඩ පැන පැන කීවා ය. "අපි අර දිය පාර ළඟට ගිහින් ටිකක් ඉඳගෙන ඉමු"
අපි තැනිතලාව මැද ක්ෂේම භූමියක් මෙන් පෙනුණු කුඩා බිම කඩ දෙසට දිව ගොස් හති හලමින් කුඩා දිය පාරේ රොන් මඩ උඩ ඇද වැටුණෙමු. ඒ රොන් මඩ සුදු පාට ය. ලුණු කුඩු නිසා වෙන්නට ඇත. අපි සීතල වතුරෙන් මුහුණ සෝදාගත් අතර වතුර ද ලුණු රස ය.
අපි මොහොතක් වේලා පෙරදිග කඳු පෙළට පිටුපා හිඳගෙන සිටියෙමු. අපි කතා නොකර සිටියෙමු.
සුළං රැල්ලට හසුව තරංග නංවන ළඳු කැලෑ අස්සෙන් පිටතට ආ වොල්රස් රංචුවක් හෙමින් ගමනින් එකිනෙකාගේ ඇඟවල් වලට තෙරපෙමින් අප දෙසට ඇවිද ආ නමුත් කොහේ දෝ සිට පැන ආ කුඩා ඩයිනෝසරයෙක් නිසා කලබල වූ උන් වරල් ගසමින් කැලෑවට වැදුනහ.
"මෝඩයා" එකවරම නැගිටගත් ඈ ඩයිනෝසරයා දෙසට දිව යන්නට උත්සහ කළ ද මම ඇගේ කලිසම් කකුලෙන් අල්ල ගතිමි.
"කොහෙද යන්නෙ. ඉර පායන්න ළඟයි. අපි ඉක්මන් කරමු" මම කලිසම ගසා දමා නැගිට ගතිමි.
පෙරදිග අහස දැන් කලින් තිබූ අහස නොවේ. කඳු නිම්න අතරින් රතු පාට දීප්තියක් මතු වී ඇත. තෙත් කඳු ප්‍රපාත රත් පැහැ දීප්තියක් පරාවර්තනය කරයි. ඉර නැගෙයි.
අපි ඉක්මන් කලෙමු. ගමනට අපහසු කදුරු බිමක් පසු කල අපි කඳු පාමුල සුන්දර වන පෙතකට පැමිණියෙමු. ඒ වන විට අපි හති හලමින් සිටියෙමු.
"අපි ටිකක් ඉමු"
තණනිල්ලක උඩුබැලි අතට වැතිරුණු අපි අඩක් එළිය වුණු අඩක් අඳුරු වුණු අහස දෙස බලා සිටියෙමු. තරු ... තරු ... තරු ... හැමතැනම තරු ... අපි මහත් විශ්මයට පත් වුණෙමු. මේ තරම් තරු ... ඒ තරු එකින් එක බලා සිටිය දී ම අරුණැල්ලේ ආලෝකය වැද පුපුරා අතුරුදන් විය. අපි ඒවා ගණන් කලෙමු. තරු විසි පහ ගණන් කරද්දී ඇයට නින්ද ගියා ය. තිස් එක ගණන් කරද්දී මට නින්ද ගියේ ය.
අපට ඇහැරුණේ පාරාවෝ කුමාරියක් දෝලාවක තබාගෙන යමින් සිටි වහලුන් පිරිසකගේ පා හඬිනි. අපි වහ වහා නැගිට ගතිමු.
"අයින් අයින්" වහල්ලු අපිට කෑ ගසා පාරෙන් ඉවත් වන ලෙස සන් කලහ. මම ඇගේ අතින් ඇදගෙන පාර අයිනට වුණෙමි. වහල්ලු හැල්මේ අප පසු කරගෙන ගියහ. දෝලාව අප අසලින් යන අතර කුමාරිකාව රන් මුදු ලූ අතින් දුහුල් තිරය ඉවත් කර අප දෙස බලා සිනාවක් පෑවා ය.
ඔවුන් වනපෙත අගින් නොපෙනි ගිය පසු අපි උස පෙරදිග කඳු පෙළ දෙසට හැරුණෙමු.
"යමු" ඈ උඩ පනිමින් කීවා ය. "ආයෙ නතරවෙන්නෙ නැතුව ම"
පරිසරය දැන් උණුසුම් ය. වායු රැළි ව්‍යාකූල ය සැර ය. අහසේ තරු එකක්වත් ඉතිරිව නැත. ඉර බොහොම ඉක්මනින් කඳු පෙළ මතින් අහසට නගිනු ඇත.
"එන්න. ඉක්මන් කරමු" මම ගල් පතුරක් උඩට නැග ඇයට අත දුනිමි. ඈ අතේ එල්ලී කුඩා වැඳිරියක මෙන් පතුර උඩට නැංගා ය. කඳු මුදුන දැන් මහා යෝධයෙකු මෙන් අප හමුවේ නැගී සිටියි. අපට ඉර උදාවට පෙර එය නැගගත හැකි වෙද? ප්‍රශ්නය වූයේ එයයි.
අප සිටියේ කන්දේ සෙවනැල්ල යට ය. ඒ නිසා සෙවනැල්ලට එපිටින් ලෝකයට වෙමින් තිබූ විපර්යාසය ගැන අප දැනුවත්ව සිටියේ නැත. අප ආපසු හැරී බලන්නට නැවතුණේ ද නැත. කන්ද වටා ඇඳෙමින් තිබූ රක්තවන් ආලෝක චාපය පමණය අපට අවසාන ඉර උදාව ගැන කියන්නට සිටියේ. සුළග ඇඟ පිළිස්සෙන තරමට උණුසුම් වී ඇත, ඒත් ඒවායේ මෘදු තුනීකම තවමත් ඉතිරිව තිබිණි. ඒවා ඇගේ මුහුණ රත් පැහැ කරනු මට දැක ගත හැකිය. මම හති හලන ගමන් ඈ දෙස ද බැලුවෙමි. ඈ ද දහඩිය අතරින් රතු වුණු මුහුණ නියවා සිනාසුනාය.
සෙවනැල්ලේ අඳුර ද කෙමෙන් කෙමෙන් තුනීවෙන්නට වූයේ ය. අපි නැග එන රක්ත තැඹිලි ආලෝකයෙන් එළිය වන ප්‍රපාතය නැග ගියෙමු. සුළඟ දැන් චණ්ඩයි. එය රත් වුණු වැලි කැට ද අත්ලට ගෙන ඉවක් බවක් නැතිව අපේ මුහුණුවලට දමා ගසයි. විටෙක කන්ද මුදුනට අප ව තල්ලු කරන එය මොහොතකින් උමතුවෙන් මෙන් අපව කන්ද පහලට තල්ලු කරයි. එහෙත් අපි එය නැග ගියෙමු, මාංශපේෂි ඒවාට දරාගත හැකි සියල්ල දරාගනිමින් අතිරික්තයෙන් අප කන්ද මුදුනට තල්ලු කලහ. මම ඇගේ අත රිදෙන තරම් තදින් අල්ලාගෙන සිටි බව සැබැවි, එහෙත් එය අත අතහැරිය යුතු අවස්ථාව නොවේ. කඳු මුදුන දැන් පෙනෙන මානයේ.
"අන්න සමනල්ලු" ඈ හදිස්සියේ ම කීවා ය. මම මොහොතක් හැරී බැලුවෙමි. මගේ සෙරෙප්පු දෙකෙන් එහාට ඇරඹෙන ප්‍රපාතය දිගේ සමනල්ලු රෑනක් අප වාගේ ම කන්ද මුදුනට පියාඹා එති. ඈ ඇය ව අල්ලා ගැනීම මට බාර දී අනෙක් අතින් සමනල්ලු අල්ලන්නට තැත් කලා ය. උමතු සුළඟ, වැළි කැට ප්‍රවාහය මැදින් උන් සමනල් ගමනින් තටු සලති. උන් අප පසු කර පියාඹා ගියහ. පියාඹා යන ගමන් ම කැබලිවලට බිඳී ඒ කැබලිත් තව තව කුඩා කැබලිවලට බෙදී අපට ඉහල අහසේ දී වියැකී දියැවී නොපෙනී ගියහ. රන් පාට සමනල්ලු රන් පාට වා ගුලිවලටත් කළු පැහැ සමනල්ලු කළුපැහැ වා ගුලිවලටත් දියවී යා ම අපූරු ය.
"මාව ගන්න උඩට" ප්‍රපාතයේ එල්ලී ඈ කෑ ගැසුවා ය. සුළඟේ ගෝෂාව මැද ඇගේ වචන මට පැහැදිලි නැත. ඒත් අප යන්නේ උඩට ය. මම ඈ ඉහල ගල් කුළට ඇද ගතිමි. ප්‍රපාතය පාමුල බිම්කඩ දැන් කුණාටුවේ පැහැයෙන් අවපැහැ ගැන් වී ඇත. ඉහල අහස ඇස් පුළුස්සන තරම් වූ රක්තවන් දීප්තියකින් වෙව්ලුම් කයි.
"එන්න. තව ටිකයි" අප නගින්නේ අවසාන පියවර කිහිපය සහ වැයකරන්නේ සිරුරේ අවසාන ශක්ති සංචිතයන් ය. අප ඒවා අවසන් වූ පසු මුළු සිරුර ම වුව වැය කරන්නට පසුබට නොවන බව අපේ සිරුරු දැන සිටියා විය යුතු ය. ඒවා කිසිවිටෙකත් මැසිවිලි නැගුවේ නැත.
ඊලඟ මොහොතේ අප දැනගන්නේ අප ඉන්නේ කඳු මුදුනේ බව. අපි නැගිය යුතු අවසාන ගල් පතුරේ සෙවනැල්ල යට නැවතුණෙමු. තව එක පියවරකින් අපි අවසාන ඉර උදාව නරඹමු.
"අපි ආවා" ඈ මට කනට ළං වී කෑ ගෑවා ය. මම ඇගේ ඇහි බැම වටා වූ ලුණු පියළි අතගා බැළුවෙමි. ඒවා බලා සිටියදී ම විවිධ වර්ණ නංවමින් දැවී අළු වෙයි. තාපය ඒ තරම් දෘඩය. ඒත් එසේ පුපුරු හලමින් දැවෙන විට ඇත්තේ අමුතු ලස්සනකි.
"ඉර බලමු" මම ද කෑ ගෑවෙමි. මගේ රැවුල ලුණු ස්ඵටික සමග දැවෙමින් තිබිණි.
"පොඩ්ඩක් ඉන්න" ඈ ගල් බිත්තියට හේත්තු වූවා ය. "පහළ බලන්න. ලස්සනයි"
මා ද ඈ අසලින් ගල් බිත්තියට හේත්තු වී පහතින් පෙනෙන මහා ලෝකය දෙස බැළුවෙමි. කන්දේ යෝධ සෙවනැල්ලට එපිට බිම්කඩ සූර්යයාගේ අධිකතර තාපය හේතුකොටගෙන දුම් දමමින් ඇවිලෙයි. අළු පාට උස ගස් සෙවනැල්ලෙන් පිටතට නිරාවරණය වත් ම පත්තර පිටු තීරු මෙන් ඇවිලෙන ආකාරය අපූරුය. ඈත කැනවරල් තුඩුවේ ඉතිරිව තිබූ එකම ෂටලය ඇද වී රක්ත තප්ත වී ගිනි ඇවිලුණු ආකාරය ඈ මට පෙන්වූවා ය. ඒත් වඩා අපුරු දර්ශනය වූයේ ගීසා පිරමීඩවල ගල් දිය වීම ඇරඹුණු පසු ඒවා ලිස්සා වැටෙන්නට වූ ආකාරයයි.
බෝඩිමෙන් මුලින් ම සෙවනැල්ලෙන් නිරාවරණය වූයේ තවමත් ඉදිකර අවසන්ව නැති කොන්ක්‍රීට් වහලයේ කම්බි ය. ඒවා රත් පැහැ ගැන්වී එකවරම නිලාකූරු මෙන් පුපුරා හැළුණේ ය. සෙවනැල්ල කෙටිවත්ම තත්පරයක් දෙකක් මහා තාප දීප්තියේ නොසැලී සිටි බෝඩිම කහ පැහැ ගිනි දළුවලින් වැසී ගත්තේ ය. අන්තිමට ගේට්ටුව ළඟ තිබූ 'බෝඩිම' යන ලෑලි පුවරුව ගිනි ගත්තේ ය. හිරු තාපයට නිරාවරණය වන්නට පෙර සෙවනැල්ල තුල දී ම එය ගිනි ගත්තේ ය.
මා ඈ දෙස බලන විට ඈ මා දෙස බලා සිටියා ය හෝ සමහර විට ඈ මා දෙස බලන විට මම ඈ දෙස බලා සිටියෙමි. "අපි ඉර බලමු" ඈ කීවා ය.
ඊලඟට අපි අපේ කුඩා සෙවනැලි බිම්කඩේ ආරක්ෂාව අතහැර නැගී සිටියෙමු. මම අවසාන ගල් පතුර ද නැග ඇයට අත දිගු කලෙමි. ඈ අතේ එල්ලී ගල් පතුර නැග නැගී සිටියා ය. එතැනින් එහාට නගින්නට තැනක් ඉතිරිව තිබුණේ නැත. අපි කඳු මුදුනේ සිටියෙමු.
ඇගේ මුහුණේ අමුතු හිනාවක් තිබිණි. එහි අර විකාර නියවිල්ල ද තිබුණේ ය. ඇගේ දියව යමින් තිබූ ඇහි බැමක් සන් කිරීම සිදු කලේ ය.
ඔව්. අපි හිරු දෙසට හැරුණෙමු. අහසේ ඉරක් නොතිබිණි. මුළු අහස ම හිරු ය. එය රක්තවන් අහසකි. ඒ රක්ත වර්ණ තාපයේ තිබූ දිව්‍යමය ස්පර්ෂය කෙතරම් සෞම්‍ය ද කිවහොත් එය ඔබේ ජීවිතයේ සියළු වේදනාවන් එක් ඇඟිලි තුඩු ස්පර්ෂයකින් අතුරුදන් කරවයි. හදවත කෙතරම් සියුම් ස්වරයකින් පෙළන්නේ ද කිවහොත් ඊළඟ මොහොතේ ඔබ විශ්වයේ මහා චක්‍රාවාටවල සිට ගෙදර කවුළුවේ ඇති දුහුවිලි කැටයක් දක්වා ජීවත් වෙයි. එතරම් කාරුණික ශක්තියක් අත්විඳ අවසන්කිරීමට ඔබට කිසිදාක නොහැකිවනු ඇත.
ඔහු මට ඈ දෙස බලන්නට කීවේ ය. මම ඈ දෙස බැළුවෙමි. ඈ සිනාසෙමින් සිටියා ය. රක්ත්වන් ශක්තියෙන් වට වූ ඈ මනුශ්‍යවර්ගයා ඉතිහාසයක් පුරා සොයා අසමත් වූ යමක් බවට පත් වී මා ඉදිරියේ සිටගෙන සිටියා ය. ඇය කිසිවකින් හෝ අඩු නොවූවා ය. ඈ තවදුරටත් ඈ නොවූවා ය. ඈ ඉතිහාසයේ සිට සියළු ම ස්ත්‍රීන් වූවා ය.
ඊළඟ මොහොතේ මා ඈ දෙසට ළං වෙමින් සිටියෙමි. ඇගේ ඇස් සෙමෙන් පියවෙමින් තිබිණි. අපේ දෙතොල් ළං වත් ම අපි දිව්‍යමය දුහුවිල්ලක් බවට පත්වෙමින් අපව ම අතහැර යමින් සිටියෙමු. දුහුවිල්ලක් වීමට ප්‍රථම මට ඈ වෙත ළං විය හැකිදැයි මා දන්නේ නැත. ඒත් මම ළං වෙමින් සිටියෙමි ... ළං වෙමින් ... ළං වෙමින් ...
No comments:
Post a Comment