Sunday, June 12, 2016

මිනිස් විභව්‍යතාවයේ සීමාව


උණ්ඩියාගේ මිනිස් විභ්‍යවතාවය පිළිබඳ මහා බලාපොරොත්තු සහගත හීනයට මා ඉතා කැමතිය. මිනිස් වර්ගයා දැන් රිංගා සිටින අඳුරු ගුලෙන් එළියට ගන්නට එම දෘශ්ටිවාදය අතිශය වැදගත් ය. මා නැවතත් කිව යුත්තේ එය දෘශ්ටිවාදයක් පමණක් බව ය, ඕනෑ ම දෘශ්ටිවාදයක යට එළියට ඇදීම තුල එහි සීමාව සටහන් වන බැවින් එහි සීමාව සටහන් කරනු පිණිස මම මෙය ලියමි.
මිනිස් වර්ගයාට අභ්‍යවකාශයේ සීමා අතික්‍රමණය කරමින් ස්වභාවධර්මය පාලනයට සහ නියාමනයට ගනිමින් ඉදිරි ගමනක් යෑමට හැකි ය. මෙම මතය සමාජගත වීම මගින් අභ්‍යවකාශයට යෑම කෙසේ වෙතත් ලංකාවේ තවමත් ස්වාධීන වන්නට නොහැකි වූ වැඩවසම් වහල් සමාජයට නැවත ජීවත් වන්නට හේතුවක් සපයයි. දාර්ශනිකව මෙය කොතරම් දුරට ඇත්ත ද ? සහ දාර්ශනික ව මෙම ධනාත්මක උද්‍යෝගයේ යටිපෙළ ඇල්විය හැකි ද ?
මාක්ස් මනුශ්‍ය ස්වභාවය පිළිබඳ විග්‍රහ කරන්නේ මෙසේ ය.
සතුන් ද නිශ්පාදනයේ යෙදෙන බව සැබවි. උන් කූඩු සහ වාසස්ථාන තනා ගනිති. සතුන් නිශ්පාදනයේ යෙදෙන්නේ උන්ගේ සහ පැටවුන්ගේ මූලික අවශ්‍යතා වෙනුවෙනි, මූලික අවශ්‍යතාවය මතුවන මොහොතේ දී පමණය, එහෙත් මිනිසා නිශ්පාදනය කරන්නේ එම මූලික අවශ්‍යතාවලින් නිදහස් වූ විට ය, සැබවින් ම ඔහු මූලික අවශ්‍යතාවලින් නිදහස් වූ විට වඩා හොඳින් නිශ්පාදනයේ යෙදෙයි. සතාට තමා පමණක් නිර්මාණය කරගත හැක(ප්‍රජනනයෙන්), එහෙත් මිනිසාට එපමණක් නොව සමස්ත ලෝකයක් ම නිර්මාණය කරගත හැක. සතා මූලික අවශ්‍යතා වල රීතියට නිශ්පාදනය කරන අතර මිනිසාට සුන්දරත්වයේ රීතිවලට අනුව ද නිශ්පාදනය කල හැක.
මාක්ස් මිනිසා සහ තිරිසන් සත්ත්වයා අතර වෙනස පැහැදිලි කරන්නේ මෙසේ ය. මිනිසාගේ විශේෂත්වය සිතේ ඇති රූපය, ආකෘතිය සැබෑ ලෝකය තුල ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ය. සිතේ ඇති රූපය සංකේතවල නිශ්පාදනයකි. අභ්‍යවකාශයට යානයක් යැවීම හුදු පුද්ගල අවශ්‍යතාවයක් නොවේ, එය එපමණකින් පමණක් කල නොහැක. ගණිතය, භෞතික විද්‍යාව සහ ඉංජිනේරු තාක්ෂණයේ සංකේත නියම තුළ මිනිස් මනසේ ව්‍යාපෘතියේ මූලික සටහන ඇඳෙයි. ඉනික්බිතිව එය සැබෑවක් වෙයි. ගේ කුරුල්ලා ගේ කුරුළු කූඩුවක් සැකසීම කිසි විටෙකත් නව නිර්මාණයක් නොවන්නේත් මිනිසාගේ දියුණුව නව නිර්මාණවල එකතුවක් වන්නේත් ඒ නිසා ය.
අමු ලෝකය හෙවත් ස්වභාවධර්මය සමග හැප්පීමට වෙනස් කිරීමට සහ තමාව ම වෙනස් කිරිමට ඇති මෙම හැකියාව බටහිර පුනරුදයත් අවසානයේ දී මාක්ස් අතින් විඥාණවාදයෙන් ප්‍රායෝගික ලෝකයට ගෙන ආ කතාවකි. විශ්වය පුරා ව්‍යාප්තවන්නට ඉඩ දෙන මහා පුද්ගල විභව්‍යතාවය මාක්ස්ගේ න්‍යායගත කිරීමකි, එය ලිබරල් ධනවාදයේ ජයග්‍රහණයක් බව සිතීම විකාරයකි.
ලිබරල් නිදහස පුද්ගලයෙකුගේ හැකියාවල විභව්‍යතාවය ගැන කියන්නේ මොනවා ද ? මාක්ස්වාදයෙන් ම කතා කරන්නේ නම් කර්මාන්තශාලාවල නැගීම එනම් වැඩවසම් ක්‍රමය නිශ්ප්‍රභා වී යමින් රදළ පන්තිය අවලංගු කාසි බවට පත් වූ කාලය බුර්ෂුවා පන්තිය ඉඩම් අතහැර කර්මාන්තශාලා සොයා නගරයට ඇදුණු කාලය මිනිස් නිදහස සහ විභව්‍යතාවය ගැන නව මතවාදීමය වෙනසක් ඇති කළේ ය. ඉඩම් තුළ රැඳී සිටීම තවදුරටත් දි‍යුණු වන්නට හෝ අවසාන වශයෙන් ජීවත් වීමට සුදුසු ක්‍රමයක් නොවී ය, නගරවල කර්මාන්තශාලා බිහි වූ අතර ඒවායේ කොටස්කාරයින්වීමෙන් ඊට වඩා වැඩි යමක් සොයාගත හැකි විය. එහෙත් කර්මාන්ත සඳහා මිනිසුන් ඇද ගැනීමට මතවාදීමය තල්ලුවක් දීමට අවශ්‍යය විය. එය ධනවාදී ක්‍රමයෙන් ලස්සනට නිර්මාණය කර ප්‍රචාරය කරන ලදි.
- වෘත්තීය විශේෂඥතාවය හඳුන්වා දීම. මෙමගින් ක්‍රම දෙකකට වාසි සැලසේ. කර්මාන්තයකට සියල්ල දන්නා කම්කරුවෙකු අවශ්‍ය නැත, අවශ්‍ය කාර්යය සඳහා විශේෂඥයෙකු පමණක් අවශ්‍යය වේ. දෙවැනි වාසිය, විශේෂඥයාට තනිව සිය ජීවිතය සම්පූර්ණ කරගත නොහැක, ඔහුට/ඇයට පාරිභෝජකවාදයේ කොටස්කාරයෙකු විය යුතු ම ය. අපට කැලයකට ගොස් අල හාරා ගසකට නැග පොල් කඩා වී ඉස සහල් නිශ්පාදනය කර ජීවත් විය නොහැක, නොදනිමු, අප ඒවා මිළ දී ගත යුතුයි. පාර්භෝජකවාදයට පර්භෝජකයින්ගෙන් තොර පැවැත්මක් නැත.
- දැනුම ජනතා සන්තක කිරීම, නිදහස් කිරීම. දැනුම ජනතාවට නිදහස් කිරීම හුදු ආදරයෙන් කල එකක් නොවේ. කර්මාන්ත සඳහා තාක්ෂණික දැනුම සහිත වුවන් අවශ්‍ය ය. බලෙන් වහල්කමේ යෙදවිය හැකි වුව ද දැනුම බලෙන් පෙවිය නොහැක. දැනුම උත්කර්ෂයට නංවා නිදහස් කිරිම මගින් ඔවුන්ට අවශ්‍ය කම්කරුවන් ක්‍රමානුකූලව සහ ප්‍රමාණවත් වේගයකින් නිශ්පාදනය කරගත හැක.
මතක තියාගන්න. ලිබරල් අධ්‍යාපනය යනු කම්කරුවකු නිර්මාණය කිරීමට අවශ්‍ය අධ්‍යාපනයයි. තාක්ෂණික විෂයන්ට මේ තරම් ඉල්ලුම ධනවාදය විසින් තීරණය කළ එකකි. ඔබේ අධ්‍යාපන අංශය තෝරා ගැනීම ධනවාදය විසින් තෝරාගත් විකල්පවලින් එකක් පමණි. එක්කෝ ඔබ ඉංජිනේරුවකු හෝ වෛද්‍යවරයෙකු විම අතරින් එකක් තොරා ගනු ඇත. එහෙත් ඒ විකල්ප දෙක සිස්ටම් එකෙන් නිර්මාණය කර නිශ්චිත කල එකකි.
ලිබරල් නිදහස යනු සැබවින් ම සැබෑ නිදහසක් නොව මුලින් තීරණය කල විකල්ප කිහිපයක් අතරින් එකක් තෝරා ගැනීමේ නිදහස ය. ලිබරල් මිනිසාගේ හැකියාවේ අසීමිත විභව්‍යතාවය අවසානවශයෙන් විකල්ප කිහිපයක් අතරින් එකක් තෝරා ගැනීම, මුලින් නීර්ණය කර තිබූ ඉලක්කයක් කරා ළඟා වීම විය හැක.
දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙම ව්‍යුහය නිරන්තරයෙන් ප්‍රශ්න කිරීමට ලක් විය. මෙම විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුවේ අවසන් ඵලය කුමක් ද ? එහි අරමුණ කුමක් ද ? නැවතත් මිනිසා තමා ව ප්‍රශ්න කිරීම කෙරෙහි යොමු විය. දැන් මෙහි දී ඇසෙන්නේ සාංදෘශ්ඨිකවාදී ප්‍රශ්නයයි.
අභ්‍යවකාශය කරා නොනිමි ගමනකට මුල පුරන මිනිස් ශිෂ්ටාචාරයේ අරමුණ කුමක් ද ? මිනිස් ශිෂ්ටාචාරයට අරමුණක් ඇත් ද ? මිනිස් ජීවිතයට අරමුණක් ඇත් ද ?
"God is dead" නීට්ෂේ පවසයි. දෙවියන්වහන්සේගේ මරණයෙන් පසු මනුෂ්‍යවර්ගයාට සීමා පමුණුවන්නට තෝරා ගැනීම සඳහා විකල්ප ඉදිරිපත් කිරිමට කිසිවෙක් නැත. එය මනුෂ්‍යවර්ගයාගේ පූර්ණ නිදහසයි. ලිබරලය තුල ආර්ථික දෙවියෙකු පවතියි. සාංදෘෂ්ටිකවාදයේ දී කතා කරන්නේ මනුෂ්‍යයා මවා පෑ නිදහසින් පමණක් නොව සියල්ලෙන් ම නිදහස් වූ මිනිසෙකු ගැන ය.
දෙවියන්ගෙන් නිදහස් වූ මනුෂ්‍යයා වටහා ගන්නා පළමුවන් කාරණය විශ්වයට අරමුණක් නැති බව ය. තවදුරටත් විශ්වය යනු දෙවියන්ගේ කැමැත්තට ක්‍රියාත්මක වන්නක් නොවේ. තව දුරටත් විශ්වය මිනිස් ශිෂ්ටාචාරය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නක් ලෙස සැලකිය නොහැක. එය හුදු අහඹු සිදුවීම්වල එකතුවක් පමණක් වෙයි.
ශිෂ්ටාචාරයට පමණක් නොව මිනිසාට ද පරම අරමුණක් නැත. තමාගේ ඉපදීම තමා තීරණය කරන්නක් නොවන අතර ඉපදී ටික කලක් යනවිට තමා බාහිරින් එන්නත් කල අරමුණු තමාට වුව පාලනය කරගත නොහැකි ආශාවන් ආදියෙන් ආදියෙන් තම ජීවිතය රාමු කෙරී ඇති බව වටහා ගන්නා නිරාගමිකයාට ඊළගට එන ප්‍රශ්නය තමාට ජීවත් වීම සඳහා ඉන්ධන බවට පත් වී ඇති මේ සියල්ල තමාගේ නොවන බවයි, මෙම ව්‍යුහය තුළ ඉපදීම තුළ ඉපදීම තම තීරණයක් නොවන අතර දැන් තමා 'මම' යන තමාට අයිති නැති රාමුවක හිර කර ඇති බව වටහා ගනියි. දැන් දෙවියන්ගෙන් නිදහස් වූ මිනිසාට මෙම සිරකූඩුවෙන් නිදහස් වී සැබෑ නිදහස් ජීවිතයකට යන්නට වුවමනා වෙයි. එහෙත් සැනෙකින් ඔහුගේ/ඇයගේ හිතට එන ප්‍රශ්නය 'අරමුණ' යන සංකල්පය ද තමා නම් නිර්මාණය කල හිරකූඩුවේ කොටස්කාරයෙකු බව ය. සැබෑ නිදහස තුල ඔබට පැවැත්ම සඳහා කිසිදු අරමුණක් සොයාගැනීමට නොහැකි වනු ඇත, මන්ද යත් එහි අරමුණක් නැති බැවිණි. අවසානයේ දී මිනිසාට ද ශිෂ්ටාචාරයට ද සිදු වන්නේ සියදිවි නසා ගැනීමට ය. නිවන් දැකීම මිනිසාගේ අරමුණ බව එකෙක් පවසත් ම 'මං දුක් විඳිනව කියල මං දන්නවා, ඒක ලෝකෙ හැටි, මම දුක් විඳපුදෙන්, ඒත් මොකට ද මං නිවන් දකින්න මහන්සි වෙන්නෙ' නියම නිදහස් පුද්ගලයෙකු මෙසේ ප්‍රකාශ කරනු ඇත.
මිනිස් ජීවිතයේ හිස්කම ශිෂ්ටාචාරයේ නිස්සාරත්වය සැබෑවටම විඳගැනීම සඳහා සාත්‍ර, කැමූ, දොස්තයවුස්කි ආදීන් කියවන්න.
(මිනිස් විභව්‍යතාවය ගැන භෞතික විද්‍යාත්මක සහ ගණිතානුකූල විග්‍රහයක් පසුව බලාපොරොත්තු වන්න.)

No comments:

Post a Comment