Sunday, June 12, 2016

සින්තටික් මිනිස්සු



අපි ඔක්කොම සින්තටික් මිනිස්සු ... මට ඔබ ව පේන්නේ සැබෑ ඔබ ලෙස නොව ඔබ මවා පෙන්වන ඔබ ලෙස ... ඔබට මා පෙනෙන්නේ සැබෑ මා ලෙස නොව මා විසින් මවා පෙන්වන මා ලෙස ය. ඔබ සහ අනෙකා අතර සැබෑ මිනිස් සම්බන්ධතාවයක් ඇති බව සිතුවත් සැබැවින් ම ගණුදෙණුව ඇත්තේ ඔබ විසින් මේන්ටේන් කරන වෙස් මුහුණ හෙවත් සින්තටික් මිනිසා සහ අනෙකා විසින් මේන්ටේන් කරන වෙස් මුහුණ හෙවත් සින්තටික් මිනිසා අතර ... සැබෑ මිනිසුන් දෙදනා අඳුරු ගුහාවකට වී අර රූකඩ නටවති ...
අතත්‍යය ලෝකය හෙවත් වර්චුවල් එක නැගී සිටීමත් සමග ඔබට පහසුවෙන් රියල් ඔබ සඟවා වඩා සූක්ෂම ලෙස ඔබේ සින්තටික් එක මේන්ටේන් කල හැකි ය. සෝෂල් මීඩියාවල ප්‍රොෆයිල් යනු සැබෑ අප නොව අප ලෙස ලොවට පෙන්වා දීමට අප ආශා කරන අප වෙයි.
විසංවාදය වනාහී අපේ සින්තටික් රූපය වඩ වඩා පරිපූර්ණවන විට එය සින්තටික් බව එනම් මවා පෙන්වන්නක් බව ව්‍යාජ එකක් බව අවිඥාණිකව ම දැනෙන්නට වීමයි. එසේ නම් ඔබට දිය හැකි පළමු උපදෙස
"මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගැනීමට නම් තමා පරිපූර්ණ, අවංක මිනිසෙකු බව පෙන්වන්නට උත්සහ නොකරන්න." පොඩ්ඩක් වංක වූ සැනින් ඔබ වඩ වඩා විශ්වාසවන්ත වේ.
ආදරයේ දී මේ කතන්දරය වඩා ලස්සනට වැඩ කරයි. ප්‍රශ්නය, ඔබට පරිපූර්ණ රූපශ්‍රීයකින් යුතු ස්ත්‍රියකට ආදරය කල හැකි ද ? කකුලේ නියපොතුවල සිට හිස කෙස් දක්වා ම 'මේන්ටේන්' කරන කෙල්ලක් ඔබට කෘත්‍රිම, සැබෑ නොවන එකියක් සේ පෙනේ. රූපයේ ඇති පුංචි අඩුවක් සමහර විට ඇය සියළු පරිපූර්ණ ස්ත්‍රීන් අභිබවා ආකර්ෂණයට ලක්වනු ඇත. දෙවන උපදෙස
"ආදරය නාභිගත වන්නේ අඩුවක් මත ය" කිසිවෙකුගේ සුපිරි විඳින ජීවිතයේ එක් විඳවීමක් දුටු සැනින් ක්ෂණිකව එය ආදරයකට හැරෙන්නට ඉඩ ඇත.
ස්ලෝවේනියානුවාගේ උපදෙසක් මෙසේ ය, කොල්ලෙක් කෙල්ලෙකුට මෙසේ කියයි. "ඔයා තව ටිකක් කෙට්ටු උනොත් ලස්සනයි"
ආදරය දිනාගැනීම සඳහා කෙල්ල සිහින් වීමට උත්සහ කරන්නේ නම් ජිජැක්ට අනුව එය වැරදි තීරණයකි. මන්ද යත් ඇය උත්සහ කර සිහින් සිරුරක් හිමි කර ගන්නේ නම්, ඇය කලින් සිටි ආකාරය සැබෑ ආකාරයයි, සිහින් සිරුරකින් යුතු ඇය සින්තටික් ආකාරයයි, ව්‍යාජ ආකාරයයි, සැබෑවක් නොවන ආකාරයි, රූකඩ රොබෝ ආකාරයයි.
ආදරය නාභිගත වන්නේ මෙම අඩුව කරා ය, එනම් ෆැන්ටසික සින්තටික් ආකාරය වීමට නොහැකි වීම මත ය. අර කෙල්ලට ස්ලෝවෙනියානුවාගේ දෙන උපදෙස මෙයයි "ඉන්න විදියට ම හිටපං."

No comments:

Post a Comment