Sunday, June 12, 2016

පිපිරීම


Image result for war sri lanka

'මෙහෙ පිපිරෙනකොට මෙහෙම නම් එහෙ පිපිරෙනකොට ඒ මිනිස්සුන්ට කොහොම දැනෙන්න ඇද්ද ?' යන මහා මානුෂික විස්සෝපයෙන් ලතවෙන අය මේ දිනවල බුකියේ නිතර දැකගත හැක. ඔබ හොඳින් මේ මානුෂික රෝගයේ පතුල අතගා බැලුවහොත් අපූර්ව කාරණයක් සොයා ගත හැක, ඒ බයියන් සහ මේ මානුෂික ලිබ්බන් අතර කිසිදු වෙනසක් නැති බවයි. එසේ වන්නේ කෙසේ ද ?
බයි මතයට අනුව යුද්ධය දිනා රට බේරා ගත්තේ මහින්ද රාජපක්ෂ, රාජපක්ෂ ම පමණි යන්න ය.
නව ලිබි මතයට අනුව ද යුද්ධය කලේ මහින්ද රාජපක්ෂ ය, රාජපක්ෂ ම පමණ ය. ඒ නිසා යුද්ධයේ දී සිදුවූ අමානුෂික දේවල්වලට මහින්ද සහ හමුදාව වග කිව යුතු ය. මහා මානුෂික ලිබ්බන් වන අප සහ වැඩවසම්කාර මහින්ද සහ මහින්දගේ කුලී හමුදාව යනු එකිනෙකට බහිෂ්කාර වූ සමාජයන් දෙකකි. ඒ නිසා මහින්දගේ සහ හමුදාවේ අමානුෂිකකම් දැක අප පුදුමයට සහ විස්සෝපයට පත් වමු.
සිවිලි යුද්ධයේ දී හමුදාව ලිබරල් දෙමලා ඉතිරි කර ජාතිවාදී දෙමළා පමණක් ඝාතනය කලේ නැත, ෂෙල් වෙඩිවලට සිත් කියවිය නොහැක. එල්.ටී.ටී ය සිංහල ජාතිවාදියා පමණක් ඝාතනය කර මෙවන් දේවල් ලියන මානුෂික ලිබ්බන් බේරා හැරියේ නැත, බෝම්බවලට සිත් කියවිය නොහැක. හිතේ තිබෙන කතන්දර යුද්ධයට අදාල වූයේ ම නැත, ශ්‍රී ලංකාව සහ ඊළම අතරය අරඟලය තිබුණේ, කොල්ලන් ද බල්ලන් ද රහතුන් ද සෝවාන්කාරයන් ද සියල්ල ම යුද්ධයේ කුරිරුකමට ගොදුරු විය.
සියළු දෙනා ම සිවිල් යුද්ධයේ ගොදුරු වූයේ නම් දැන් තැන් තැන්වල එය මගේ යුද්ධයක් නොව මහින්දගේ සහ හමුදාවේ යුද්ධයක් යැයි වර නැගිමට යාම කවර නරුමකමක් ද ? අතිරේක ප්‍රශ්නය යුද්ධය අවසාන වූ පසු ඔබට වෙනදාට වඩා සැනසීමකින් බසයක යන්නට පිළිවන් වුණි ද ? පිළිතුර ඔව් නම් ඔබ එම යුද්ධයේ කොටස්කාරයෙකු වන අතර 'මෙහෙ පිපිරෙනකොට මෙහෙම නම් එහෙ පිපිරෙනකොට ඒ මිනිස්සුන්ට කොහොම දැනෙන්න ඇද්ද ?' ප්‍රකාශ කිරීම තුල එය අපේ යුද්ධය නොවේ ය මගේ අතේ ලේ ගෑවී නැත මගේ හෘද සාක්ෂිය සුදු පිරුවටයකි යන්නෙන් අත පිසදා ගැනීමට ඔබට කොහෙත් ම අයිතියක් නැත.
මෙම නරුම කතාව පට්ට මානුෂික ලෙස හැඟී ගිය ද ඒ තුළ ඇත්තේ තමා දෙමළාගේ විඳවීමට වග නොකියන බවත් ඒවාට වග කිව යුත්තේ රාජ්‍යනායකයින් ලැයිස්තුවක් සහ සිංහල ජාතිවාදය බවත් වර්තමාන දෙමළා ගැන කතා කිරීමෙන් මා පළ කරන්නේ ආදරයක් පමණක් බවත් උන් වෙනුවෙන් කතා කිරීම තමාගේ 'වගකීම' නොවන බවත් උන් එල්ලී මැරුණත් මට රෝස මලක් අරගෙන 'ආදරයෙන්' හැඬිය හැකි බවත් එහෙත් තමා උන්ගේ අයසට වග කියන්නේ නැති බැවින් උන් බේරාගන්නට වුවමනාවක් නැති බවත් යන අතිශය ආත්මාර්ථකාමී ප්‍රයෝගයකි. ලිබරල් ප්‍රයෝග අල්ලන්නට බැරි තරම් සියුම් ය.
මට මේ බොරුවට දුක්වන ලිබ්බන් සහ ජෙප්පන් පෙනෙන්නේ මනුෂ්‍යත්වය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන කපටි ආරක්ෂකයින් රෑනක් ලෙස පමණි.
සිවිල් යුද්ධයේ දී ඝාතනය වුණු මනුෂ්‍යත්වය වෙනුවෙන් 'අන්න අරූ තමා කලේ, අපි නං නෑ' මූඩ් එකෙන් මිදී අප සියළු දෙනා ම වග කිව යුතු ය යන්න වටහා ගත යුතු ය. බොරු ආදරයකින්, කඳුළු පෙරීමෙන්, රෝස මල් වැනීමෙන් හෘද සාක්ෂියට වංචාකිරීමෙන් වළකින්න.

No comments:

Post a Comment