
තාපගතිකයේ දෙවන නියමය, අප කතා කරන ඉතාම සරල ආකාරයෙන් මෙසේ විස්තර කල හැක. ඔබ සතුව රත් කල යකඩ කෑල්ලක් සහ ශීතල යකඩ කෑල්ලක් ඇත. මේ දෙක එකිනෙක ස්පර්ෂ වන සේ තබා මොහොතක් සිටින්න. කුමක් සිදු වේද ? රත් වූ යකඩ කෑල්ල ක්‍රමයෙන් ශීතල වී ඇති අතර ශීතල යකඩ කෑල්ල ක්‍රමයෙන් රත් වී අවසානයේ දී යකඩ කෑලි දෙක ම එකම උෂ්ණත්වයකට පත් ව ඇත. මෙම ස්වභාවය එනම් තාප අන්තරය හුවමාරු වී සමතුලිත වීම, තාපගතිකයේ දී හඳුන්වන්නේ එන්ට්‍රොපිය වැඩි වීම ලෙස ය. තාපගතිකයේ දෙවැනි නියමය පද්ධතියක එන්ට්‍රොපිය කාලයත් සමග වැඩි වේ ය යන්නයි. ඔබ ද මා ද අත්දැකීමෙන් දන්නා පරිදි තාපය වැඩි යකඩ කෑල්ල තාපය අඩු යකඩ කෑල්ලෙන් තාපය උරාගෙන සිය තාප ප්‍රමාණය වැඩි කරගන්නේ නැත, සිදුවන්නේ තාපය වැඩි තැනින් අඩු තැනට ගලා යාම ය.මිනිසාට ලෝකය වෙනස් කල හැකි ද ? මාක්ස්වාදය පිළිබඳ මගේ පළමු විවේචනය මෙයයි. වෙනස් කල හැකිවීම මාක්ස්වාදී ආකාරයයි, එය නිවැරදි ද ? ප්‍රශ්නය එයයි.
විශ්වීය පරිමාණයෙන් ද අපට විශ්වයේ එන්ට්‍රොපිය වැඩි වීම ගැන සලකා බැලිය හැක. සූර්යයා යනු අධික තාපයකින් යුතු වස්තුවකි, අවට ඇති හිස් අවකාශය සහ ග්‍රහලෝක අඩු තාප ප්‍රමාණයකින් යුතු ය. දැන් විය යුත්තේ තාපය වැඩි තැනින් අඩු තැනට යාම මිස අඩු තැනින් වැඩි තැනට යාම නොවේ. ඒ අනුව සූර්යයා තාපය නිකුත් කරයි, පෘථිවිය වැනි ග්‍රහලෝක තාපයෙන් ද අවකාශය විකිරණ වලින් ද පුරවාලයි.
ඔබ කළු කුහර ගැන අසා ඇත, කළු කුහර අවට ඇති සියල්ල උරා ගනියි. ආලෝකයට වුව මින් පලා යා නොහැක. දැන් ප්‍රශ්නය කළු කුහරයේ තාප ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වේ නම් තාපය වැඩි තැනින් අඩුතැනට ගලා යාම පිළිබඳ චිත්‍රයට කුමක් වේ ද යන්නයි. මේ සඳහා ස්ටීවන් හෝකින් යෝජනා කලේ තාපගතිකයේ දෙවන නියමය ආරක්ෂාවෙන්න නම් කළු කුහරය වුව වාශ්පීකරණය විය යුතු බවයි.
තාපය යනු භෞතික ද්‍රව්‍යයන් තුල ඇති 'සාරයක්' නොව ඒවායේ අංශුවල චාලක ශක්තිය යැයි ගත හැක. අප චිත්ත පරීක්ෂණයකට යමු. CO2 අණු ඇතුලත් පෙට්ටියක් ඇත. ඒ පෙට්ටියෙ මැද සිදුරක් ඇති අතර වායු අංශු ඇත්තේ එක් පසක පමණි. ඒ පස තාපය වැඩි අතර අනෙක් පස ඇත්තේ රික්තයකි, තාපය අඩු තැනකි. තාපගතිකයේ දෙවන නියමයට අනුව තාපය වැඩි තැන සිට අඩු තැනට යා යුතු ය, එනම් ක්‍රමයෙන් වායු අණු දෙපසට ම සමානව බෙදී යා යුතු ය. මෙහිදී කරුණු දෙකක් ඉදිරිපත් කල හැක.
එක, මුල් අවස්ථාව, එනම් වායු අංශු එක පසක තිබූ අවස්ථාව, පිළිවෙලක් සහිත අවස්ථාව වන අතර වායු අංශු සිදුරෙන් අනෙක් පසට යෑමත් ගැටීමත් සමග ක්‍රමයෙන් මුල් අවස්ථාවට සාපේක්ෂව ව්‍යාකූල අවස්ථාවකට පත් වේ. එනම් එන්ට්‍රොපිය වැඩි වීම යනු පද්ධතියක ව්‍යාකූලතාවය වැඩි වීමකි.
දෙක, තාපය පිළිබඳ සංකල්පය නොව වඩා ක්ෂුද්‍ර ආකාරයක් වන ව්‍යාකූලතාවයෙන් අන්වේෂණය කරන විට, අපට වායු අංශු කාලයත් සමග හරියටම ප්‍රමාණාත්මක පෙට්ටියේ දෙපසට බෙදේ යැයි කිව නොහැක. හදිසියේ ම අහඹුවකින් පෙට්ටියේ සියළුම වායු අණු මුලින් වායු අණු තිබූ පැත්තට යාමට ඉඩ ඇත. වඩා නිවැරදිව කිවහොත් එන්ට්‍රොපිය වැඩි වීම නියමයකට වඩා එන්ට්‍රොපිය වැඩි වීමට වැඩි සම්භාවිතාවක් ඇති බව සැලකිය යුතු ය. මන්ද යත් ඉහත උදාහරණය සැලකූ කල, පෙට්ටියේ වායු අණු නැවත මුල් පැත්තට පැමිණීමට ඇත්තේ ඉතා අඩු සම්භාවිතාවයක් බැවිණි.
මේසයක් උඩ ඇති වීදුරුවක් බිම වැටී බිඳෙන බව සිතන්න. දැන් බිම ඇති සියළු වීදුරු කැබැලි විසිවී, කාලය අනෙක් පස හැරවූ පරිදි චලනය වී වීදුරුව නැවත සකස් වේ යැයි සිතන්න. යාන්ත්‍රවිද්‍යාවට අනුව එය විය නොහැක්කක් නොවේ, අප වීදුරු කැබැලි වලට අවශ්‍ය ගම්‍යතාවයන් නිවැරදිව ලබා දුනහොත් ඒවා සියල්ල එක් වී මේසය මතට විසිවී ගොස් වීදුරුව නැවත සකස් වනු ඇත. එහෙත් අප වීදුරු බිඳෙනවා මිස බිඳුණු වීදුරු කැබැලි එක් වී වීදුරුවක් සකස්වනවා දකින්නේ නැත්තේ ඇයි? හේතුව, නැවත වීදුරුව සකස් වීමට ඇත්තේ අඩු සම්භාවිතාවකි. වැඩි සම්භාවිතාවක් ඇත්තේ පිළිවෙලක් සහිත අවස්ථාව, එනම් වීදුරුව මේසය උඩ ඇති අවස්ථාව, ව්‍යාකූල අවස්ථාව, එනම් බිඳී ගිය වීදුරු කැබලිවල අවස්ථාව කරා යෑමට ය.
මැක්ස්වෙල්ගේ යක්ෂයා
දැන් නැවත චිත්ත පර්යේෂණයට යමු. පෙට්ටියේ එක පසක අංශු ඇත, දැන් ඒවා ක්‍රමයෙන් ව්‍යාකූල වී දෙපසට පැතිරෙයි. මෙහි යක්ෂයෙකු සිටියි, ඔහුට පෙට්ටියෙ මැද ඇති දොර වසන්නට ද විවර කරන්නට ද හැකි ය. ඔහු මෙසේ කරයි, ඔහුට නැවත ව්‍යාකූල තත්ත්වයෙන් පිළිවෙලක් කරා පද්ධතිය ගෙනයන්නට වුවමනා වෙයි. ඔහු මුල් දිශාව කරා ගමන් කරන අංශුවලට පමණක් දොර විවර කරයි, එම දිශාවෙන් පිටතට ගමන් කරන අංශුවලට දොර වසයි. ටික වේලාවකින් මුලින් අංශු පිරී තිබූ පැත්තට සියළුම අංශු එක් රැස් වී තිබෙනු දැකිය හැකි වෙයි. එනම් ව්‍යාකූල තැනින් පිළිවෙලකට සියල්ල ගෙනැවිත් ඇත. ප්‍රශ්නය,
සවිඥාණික ජීවියෙකුගේ මැදිහත් වීමෙන් පද්ධතියක් ව්‍යාකූලත්වයෙන් නැවත පිළිවෙලකට ගෙන ආ හැකි ද? එන්ට්‍රොපිය අඩු කල හැකි ද ? තාපගතිකයේ දෙවන නියමට ප්‍රතිවිරුද්ධව කටයුතු කල හැකි ද ?
අප මෙහිදී අමතක කර ඇත්තේ යක්ෂයා දොර විවර කිරීමට සහ වැසීමට ශක්තිය වැය කරන බව ය. වෙනත් ආකාරයකට කිවහොත් සවිඥාණික ජීවියෙකුට පද්ධතියක එන්ට්‍රොපිය අඩු කිරීමට නම් ශක්තිය වැය කල යුතු බව ය, එනම් පද්ධතියක ව්‍යාකූලත්වය අඩු කිරීමට උත්සහ කිරීම ම තව තවත් ව්‍යාකූලත්වය වැඩි කරයි.
ඔබ ටජ් මහල නම් පිළිවෙලට ව්‍යාකූල භෞතික ද්‍රව්‍යය ගොඩ ගැසීමට කොපමණ ආහාර ප්‍රමාණයක් දවනවා ද? පිළිවෙලකට ඇති සහල්, සතුන් ආදීන් අණු දක්වා කඩා ව්‍යාකූල කර දමනවා ද ? ඔබට පිළිවෙල සකසන්නට ඊට වඩා විශ්වය ව්‍යාකූල කරන්නට සිදු වේ.
මිනිසා මුළු විශ්වය ම තම ග්‍රහණයට ගැනීම, ශිෂ්ටගත කිරීම, පිළිවෙලකට ගැනීම සිදු කල නොහැක්කකි. මන්ද එම උත්සහය තුල විශ්වය ඊට වඩා ව්‍යාකූල වන බැවිණි. මනුශ්‍යවර්ගයා කෙතරම් උත්සහ කල ද විශ්වය ඊට අදාල ගමනේ යයි.
ප්‍රශ්නය, මිනිසාට විශ්වය වෙනස් කල හැකි ද ? පිළිතුර, කිසිවක් වෙනස කල නොහැක.
No comments:
Post a Comment